තලාක් මුස්ලිම් නීතිය අපරාධමය වරදක්
කඩිනමින් දික්කසාද වීම සඳහා ඇති මුස්ලිම් නීතිය අපරාධමය වරදක් කිරීම ඉන්දීය රජයේ සහ කාන්ත අයිතිවාසිකම් වෙනුවෙන් පෙනිසිටින සංවිධානවල ඇගයීමට ලක්ව තිබේ.
කෙසේ නමුත් ඉන්දීය ආණ්ඩුව ගන්නා ලද මේ ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් අභියෝගයට ලක් කරන බව ඉන්දියාවේ බලපෑම් සහගත ඉස්ලාමිය සංවිධානය ප්‍රකාශ කළේය.
සියවස් ගණනක් පැරැණි මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය නව යෝජනාවක් සම්මත කරගත්තේය.
‘තලාක්’ යනුවෙන් අඛණ්ඩව තෙවරක් පැවැසීමෙන් මුස්ලිම් වැසියන්ට සිය බිරිඳ දික්කසාද කළ හැකි එම නීතිය අපරාධ වරදක් බවට පත් කරමින් එම පනත සම්මත කරගෙන තිබේ.
‘තලාක්’ යනු අරාබි බසින් දික්කසාදය වන අතර වාර්ගික කරුණුවලට රජය මැදිහත් වීම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාව තුළ විවාදයක් ඇතිවී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරිපාලනය හින්දු ජාතිකවාදී ස්වරූපයක් ගන්නා අතර ආගමික හා වාර්ගික කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත් වීම විවේචනයට ලක්ව තිබේ.
ඉන්දීය පාර්ලිමේන්තුවේ දී සම්මතවූ මෙම යෝජනාව නීතියක් බවට පත්වීමට අවශ්‍යව ඇත්තේ එරට ජනාධිපතිවරයාගේ අත්සන පමණි.
ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ද අදාළ යෝජනාව අනුමත කළ අතර ‘තලාක්’ යනුවෙන් පවසා බිරිඳ දික්කසාද කරන මුස්ලිම් පුරුෂයන්ට මින් ඉදිරියට නීතිය ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව එසේ කරන්නන් වසර තුනක සිර දඬුවමකට සහ දඩයකට යටත්වනු ඇත.
‘තලාක්’ යනුවෙන් පවසා දික්කසාද කිරීම ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මීට වසර දෙකකට ඉහතදීය.
ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී අදාළ යෝජනාව සම්මත වීමත් සමඟ රටපුරා උත්සව රැසක් පැවැත්වුණු අතර ඒවා බොහෝමයක් සංවිධානය කර තිබුණේ මුස්ලිම් කාන්තා සංවිධානය.
ඉන්දියාවට අමතරව අසල්වැසි පාකිස්තානය හා බංග්ලාදේශය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ද මෙම මුස්ලිම් දික්කසාද ක්‍රමවේදය තහනම් කර ඇත.
හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී. ඇසුරිනි