තමිල්නාඩු අතුරු මැතිවරණයෙන් ජයලලිතාගේ පක්ෂයට ජය
(එන්.ඩී.ටීවී.)
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පසුගිය සෙනසුරාදා (19) පැවැත්වූ අතුරු මැතිවරණයේ ප්‍රතිඵල ඊයේ (22) නිකුත් කෙරුණු අතර, මහ ඇමැතිනී ජයලලිතාගේ පාලක ‘අන්නා ද්‍රවිඩ මුනේත්ර කසාගම්’ පක්ෂය එයින් ජයග්‍රහණය කළේය.
අතුරු මැතිවරණයෙන් ‘අන්නා ද්‍රවිඩ මුනේත්ර කසාගම්’ පක්ෂය ඔවුන් තරග වැදුණු ආසන ත්‍රිත්වයම ජයග්‍රහණය කර තිබුණි.
මාස දෙකකට වැඩි කාලයක් චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන මහ ඇමැතිනී ජයලලිතා, රෝහල් ගත කිරීමෙන් පසු පළමු වතාවට ජනතාව අමතමින් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සතුට පළ කළාය.
තමිල්නාඩු පුවත් සේවා වාර්තා කළේ අතුරු මැතිවරණය ජය ගැනීමට වඩා, රෝහල් ගතව සිටින මහ ඇමැතිනියගේ කටහඬ අසන්න ලැබීම මහ ඇමැතිනියට හිතවත් තමිල්නාඩු වැසියන්ට මහත් අස්වැසිල්ලක් වූ බවය.
පෙනහළු ආසාදන තත්ත්වයක් හේතුවෙන් ඇපලෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මහ ඇමැතිනී ජයලලිතා මේ වනවිට දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති අතර, ඇගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින යහපත් අතට හැරෙමින් පවතින බව ඇයට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යරුන් පවසා ඇත.