ඩොනල්ඞ් ට්‍රම්ප් හිරේ දාන්න ඕනෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හිරේ දැමිය යුතු යැයි ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායිකාව වන ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකා නැන්සි පෙලෝසි පවසයි.

නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතා නායිකාව මේ බව කියා සිටියේ, ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් එක් වී, කොංග්‍රස් මණ්ඩලයට ගෙන ඒමට සූදානම් වන දෝෂාභියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමිනි.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ‘එදිරිවාදියා’ නැන්සි පෙලෝසි ය. දෝෂාභියෝගයක් ගෙන එනවාටත් වඩා මට ඕනෑ කෙලින්ම ට්‍රම්ප් හිරේ දාන්න’ යැයි එම හමුවේදී පොලෝසි පවසා ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව වුවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් අතේය. 2020 දී ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙයි. ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා ජනපති ධුරය අපේක්ෂාවෙන් සිටී. කතා නායිකා නැන්සි පෙලෝසි පවසා ඇත්තේ 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජයට පත් වනු ඇති බවය. ඒ, ට්‍රම්ප්ට එල්ල වී ඇති චෝදනා හේතුවෙනි.

ඇමෙරිකා ජනාධිපති ධුරය ට්‍රම්ප්ට හිමිවූයේ 2016 ජනාධිපතිවරණයෙනි. එම ජනාධිපතිවරණය ට්‍රම්ප් ජය ගත්තේ, රුසියානු පරිගණක හැකර්වරුන්, ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළ නිසා යැයි චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද පැවැත්වුණු අතර, ට්‍රම්ප් කිසිදු වරදක් කර නොමැති බව එයින් අනාවරණය විය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS