ට්‍රම්ප්ට එරෙහිව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසුමක්
විදෙස් සම්භවයක් ඇති ප්‍රතිවාදී ඩිමොක්රටික් මන්ත්‍රීවරියන්ට පරිභව කරමින්, රටින් පිටවෙන්නැයි ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, ට්‍රම්ප්ට විරුද්ධව එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) ඡන්ද විමසුමක් පැවැත්විණි.
ඇමෙරිකා පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි. ට්‍රම්ප්ගේ එම ‘ද්වේශසහගත‘ සහ ‘ජාතිකවාදී’ ප්‍රකාශය සම්බන්ධයෙන් ඡන්ද විමසුම පැවැත්වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේය.
එය හුදෙක් සංඛේතාත්මක ඡන්ද විමසුමක් පමණක් විය. ඡන්ද විමසුමේ අරමුණ ට්‍රම්ප්ට විරෝධය දැක්වීමක් පමණි. එයින් ට්‍රම්ප්ගේ ජනපති ධුරයට අභියෝගයක් එල්ල නොවන බව පැවැසෙයි.
ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂය සතුවය. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ බලය ඇත්තේ සෙනෙට් මණ්ඩලයේය.
ඡන්ද විමසුමේ දී ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් බහුතරය ඡන්දය ලබා දුන්නේ ට්‍රම්ප්ගේ ප්‍රකාශයට විරෝධය දක්වමිනි. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ නායකයන් පවා පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ ප්‍රකාශය කිසිසේත් අනුමත කළ නොහැකි බවය.
මේ අතර, ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, තමන් කිසිදු අවස්ථාවක ජාතිකවාදී ප්‍රකාශයක් සිදු නොකළ බවය. තම පරිපාලනය විවේචනය කළ නිසා තමන් එම මන්ත්‍රීවරියන්ට පැවැසුවේ, ඔවුන්ට කැමති නම් ඇමෙරිකාවෙන් යා හැකි බවත්, කිසිම කෙනකු ඊට විරෝධය නොදක්වන ලෙසත් යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
ට්‍රම්ප් පරිපාලනය දිගින් දිගටම විවේචනය කිරීම හේතුවෙන්, ට්‍රම්ප්ගේ දැඩි දෝෂදර්ෂණයට ලක්වූයේ, ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ කෝටේස්, රෂීදා ලයිබ් සහ අයානා ප්‍රෙස්ලි යන තිදෙනාත් ඉල්හාන් ඕමාර් නමැති මන්ත්‍රීවරියයි.
ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ කෝටේස්, රෂීදා ලයිබ් සහ අයානා ප්‍රෙස්ලි තිදෙනා විදෙස් සම්භවයක් ඇති ඇමෙරිකාවේ උපත ලැබූවන්ය. ඉල්හාන් ඕමාර් කුඩා කළ ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමිවුණු තැනැත්තියකි.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)