ට්‍රම්ප් - කිම් හමුව ඓතිහාසික සිදුවීමක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර කොරියා දේශසීමාවේ පැවැති හමුව, ‘අපූරු ඓතිහාසික’ හමුවක් යැයි උතුරු කොරියා මාධ්‍ය වාර්තා කරයි.

උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවේ, සාම ගම්මානයේ දී, ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හමුවූයේ හදිසියේය. තමන් කිම් හමුවීමට කැමැති බව ට්‍රම්ප් දන්වා සිටියේ ට්විටර් පණිවුඩයකිනි. ඒ, ජපානයේ ඔසාකා නුවර ‘ජී20’ සමුළුව අවසන් වී, දෙදින නිල සංචාරයක් සඳහා දකුණු කොරියාවට පැමිණෙද්දීය.

තමන් ට්‍රම්ප්ගේ ආරාධනාව පිළිගනිමින්, ට්‍රම්ප් හමුවන බව කිම් ජොන් උන් පිළිතුරු දුන්නේ අවසන් මොහොතේය. නායකයන් දෙදෙනාගේ හමුව දකුණු කොරියාවේ වේලාවෙන් සවස 3.30 ට පමණ සිදුවිය.

දේශසීමාවේදී එකිනෙකාට අතට අත දුන් අවස්ථාවේදී, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ඇරැයුම පරිදි ට්‍රම්ප් උතුරු කොරියාවට අයත් භූමියට පය තැබුවේය. ඇමෙරිකා ජනාධිපතිවරයකු උතුරු කොරියාවට පය තැබූ පළමු ඓතිහාසික අවස්ථාව මෙය විය. එපමණක් නොව, කොරියානු දේශසීමාවේදී ඇමෙරිකන් ජනාධිපතිවරයකු උතුරු කොරියානු නායකයකු හමුවුණු පළමු අවස්ථාව ද මෙය විය.

සෝල් නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS