ජායිෂ් ඊ මොහොමද් ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියක්



පාකිස්තානයේ ජායිෂ් ඊ මොහොමද් ඉස්ලාමීය සන්නද්ධ කල්ලිය ත්‍රස්ත කල්ලියක් ලෙසත්, එහි නායක මසූද් අස්හාර් ත්‍රස්තවාදියකු ලෙසත් නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත්තේය.

පසුගිය පෙබරවාරි 14 වැනිදා ඉන්දු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ, ඉන්දීය දේශසීමා පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ජායිෂ් ඊ මොහොමද් කල්ලියයි.

එම ප්‍රහාරය මුල්කොට ගනිමින්, න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාවත් පාකිස්තානයත් අතර යුද උණුසුමක් නිර්මාණය විය. ඒ, ජායිෂ් ඊ මොහොමද් කල්ලියට පාකිස්තාන රජයේත් බුද්ධි අංශයේත් සහාය හිමිවන බවට ඉන්දියාව චෝදනා කිරීම නිසාය. මේ බව ඇමෙරිකාව ද තහවුරු කර තිබේ.

පුල්වාමා ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් ඇමෙරිකාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජායිෂ් ඊ මොහොමද් ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියක් ලෙස නම් කරන්නැයි ඉල්ලීමක් කළේය. ඒ විශේෂ යෝජනාවක් ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරමිණි.

එහිදී චීනය ඊට හරස් විය. චීනය සිය බලය පාවිච්චි කරමින් කියා සිටියේ, ජායිෂ් ඊ මොහොමද් කල්ලිය ත්‍රස්ත සංවිධානයක් කිරීමේ යෝජනාවට තමන් විරෝධය දක්වන බවය. චීනය එසේ කළේ පාකිස්තාන රජයට ඇති හිතවත්කම නිසාය.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් බාර ගැනීමත්, ජායිෂ් ඊ මොහොමද් ඇතුළු ආසියාවේ ක්‍රියාත්මක ජාතිකවාදී ඉස්ලාමීය කල්ලි අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමඟ එක්වනු ඇතැයි ජගත් බුද්ධි අංශ කර ඇති අනාවරණයත් සැලකිල්ලට ගනිමින්, චීනය ඔවුන්ගේ විරෝධය ඉවත් කරගෙන තිබේ.

ඒ අනුව, ජායිෂ් ඊ මොහොමද් කල්ලියත් එහි නායක මසූද් අස්හාර් ත්‍රස්තවාදියකු ලෙසත් නම් කිරීම සිදුවිය. ඉන්දියාව පැවැසුවේ මෙය, ත්‍රස්තවාදයට එරෙහි සටනේදී තමන් ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බවය.

ජායීෂ් ඊ මොහොමද් යනු ‘මොහොමද්ගේ හමුදාව’ යන අර්ථියයි. 1999 දී, පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය සටන්කාමී කල්ලියක්, ඉන්දීය ගුවන් යානයක් පැහැරගෙන පසුව එය ඇෆ්ගනිස්තානයට රැගෙන ගියේය. එවකට ඇෆ්ගනිස්තානය පාලනය කළේ තාල්බාන්වරුන්ය.

එම ගුවන් යානයේ මගීන් නිරුපද්‍රිතව බේරා ගැනීමට ඉන්දීය රජයට ඔවුන් අත්අඩංගුවේ සිටි ඉස්ලාමීය ත්‍රස්තවාදීන් තිදෙනෙක් හුවමාරු කරන්න සිදුවිය. එසේ හුවමාරු කළ තිදෙනාගෙන් එක් අයකු මසූද් අස්හාර් ය. නිදහස ලැබූ අස්හාර්, ඇෆ්ගනිස්තානයේ දී තලේබාන් නායකයන් වන මුල්ලා ඕමාර් සමඟත්, අල් කයිඩා හිටපු නායක බින් ලාඩන් සමඟත් සමීප සබඳතා පැවැත්වූ අයෙකි.

මසූද් අස්හාර් මැදිහත් වී ජායීෂ් ඊ මොහොමද් ඉස්ලාමීට සන්නද්ධ කල්ලිය පිහිටුවූයේ 1999 දීය. මසූද් අස්හාර් පාකිස්තානයේ ඉස්ලාමීය ආගමික නායකයකු ලෙස කටයුතු කරයි. පුල්වාමා ප්‍රහාරය පමණක් නොව, 2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේ ද ජායීෂ් ඊ මොහොමද් ත්‍රස්ත සංවිධානය යැයි ඉන්දියාව චෝදනා කර තිබේ.

පුල්වාමා ප්‍රහාරයෙන් පසු, ජායීෂ් ඊ මොහොමද් සන්නද්ධ කල්ලියට ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් චෝදනා එල්ල වෙද්දී, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය ජායීෂ් ඊ මොහොමද් කල්ලිය පාකිස්තානයේ තහනම් කළේය. කෙසේ නමුත් තවමත් ජායීෂ් ඊ මොහොමද් කල්ලිය ‘අෆ්සාර් ගුරු කල්ලිය’, ‘අල් මුරාබිටූන්’ සහ ‘තරීක් ඊ ෆුර්කාන්’ යන නම් වලින් ක්‍රියාත්මක වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS