ජයලලිතාට දැන් සුවයි - හැබැයි තවම රෝහලේ



 (එන්.ඩී.ටීවී.)
මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා, දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ බවත්, ඇගේ සෞක්‍ය තත්ත්වය දිනෙන් දින යහපත් අතට හැරෙන බවත් ඇයට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යරු පවසති.
මහ ඇමැතිනිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටියේ යන්ත්‍රයකට සම්බන්ධ කිරීමෙනි. ඇය අතපය සෙළවීමට හෝ නොහැකිව සිටියාය. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔවුන් ඇය එම යන්ත්‍රයෙන් ඉවත් කළ බවත් දැන් ඇයට තනිවම ඇගේ කටයුතු කර ගැනීමට ශක්තිය ලැබී ඇති බවත්ය.
මහ ඇමැතිනී ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ඇය කැමැති නම් ඇයට රෝහලෙන් පිටවී යා හැකි බවත් වෛද්‍යවරුන් පවසා ඇති නමුත් ජයලලිතා තීරණය කර ඇත්තේ තව දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමටය.
මහ ඇමැතිනී ජයලලිතා චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණේ පෙනහළු ආසාදනයක් නිසාය. ඒ, පසුගිය සැප්තැම්බර් 22 වැනිදාය. 68 හැවිරිදි ජයලලිතාගේ සිරුර අක්‍රිය වී ගිය අතර, ඇය ජීවත් වූයේ යන්ත්‍රයකට සම්බන්ධ කිරීමෙනි.
අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඇයට ප්‍රතිකාර ලබා දීමට බි්‍රතාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයකු පවා ගෙන්වීමට ඇගේ ‘ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්’ පක්ෂය කටයුතු කළේය.
‘මහ ඇමැතිනියට දැන් හුඟක් සුවයි. ඇය යළිත් ප්‍රකෘති තත්ත්වයට පත්වෙලා. ඇය කැමැති නම්, ඕනෑම වේලාවක රෝහලෙන් පිටවී යන්න පුළුවන්. ඒත් ඇය තවම යන දවසක් කියලා නැහැ. දුර්වල වෙලා සිටි ඇයට අවශ්‍ය පෝෂණ උපදෙස් සහ ව්‍යායාම අපි දිගටම ලබා දෙනවා’ යැයි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඇපලෝ රෝහලේ වෛද්‍ය ප්‍රතාප් රෙඩී පවසා ඇත.


RECOMMEND POSTS