ජයලලිතාට තාම හොඳ නෑ:
සතියකට වැඩි කාලයක් තිස්සේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙන බවත්, ඇගේ ‘ඕල් ඉන්දියා ද්‍රවිඩ මුනේත්ර කසාගම්’ පක්ෂය, වෛද්‍යවරුන් ද හවුල් කරගෙන ඒ බව ජනතාවගෙන් වසන් කරන බවත් ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් චෝදනා කරයි.
මෙසේ චෝදනා කරන ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් අතර ඉදිරියෙන් සිටින්නේ තමිල්නාඩුවේ ප්‍රධාන විපක්ෂය වන කරුණානිධිගේ ‘ද්‍රවිඩ මුනේත්ර කසාගම්’ පක්ෂයයි. ජයලලිතා යහතින් සිටිනවා නම්, ඒ බව පෙන්වමින් ඇගේ ඡායාරූප මාධ්‍ය වෙත ලබා දෙන්න යැයි ද ‘ද්‍රවිඩ මුනේත්ර කසාගම්’ පක්ෂය ජයලලිතාගේ ‘ඕල් ඉන්දියා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්’ පක්ෂයට දන්වා ඇත.
නිල නොවන ඇතැම් ආරංචි මාර්ගවලට අනුව, ජයලලිතා මේ වනවිට දිවි සුරැකුම් යන්ත්‍රයකට සම්බන්ධ කරනු ලැබ සිටින්නීය. ඒ, ඇය ස්වසන ආබාධ තත්ත්වයකට ලක් වීමෙනි.
ජයලලිතා රෝහල්ගත කෙරුණේ පසුගිය සැප්තැම්බර් 22 වැනිදාය. එම අවස්ථාවේදී ඇය විජලනයට ලක් වී උණ ගැනී සිටි බව පැවැසිණි. ඇය රෝහල්ගත කළැයි තමිල්නාඩු වැසියන් දැනගත්තේ 24 වැනිදාය. ඒ, ජයලලිතා රෝහල්ගත කිරීමේ පුවත ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීමත් සමඟය.
එම අවස්ථාවේදීත්, පසුගිය 30 වැනිදා දක්වාත් ‘ඕල් ඉන්දියා ද්‍රවිඩ මුනේත්ර කසාගම්’ පක්ෂය, ජයලලිතාට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේ ‘ජයලලිතාට දැන් සුවයි’ කියාය. බි්රතාන්ය විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ද ඇයට ප්‍රතිකාර කිරීමට ඇපලෝ රෝහලට පැමිණි බව ද වාර්තා විය.
68 හැවිරිදි මහ ඇමැතිනිය රෝහල් ගත කළ දා පටන් මේ දක්වා ඇපලෝ රෝහලේ කටයුතුවලට ද බාධාවක් වෙමින්, ඇගේ ආධාරකරුවන් ඇතුළු පන්සියයකට වැඩි පිරිසක් රෝහල ඉදිරිපිටට රැස් වී සිටිති. මහ ඇමැතිනියට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමින් ඔවුන් යාඥා කරන බව ද වාර්තා වේ.
ජයලලිතාගේ ඉල්ලීම පරිදි ඇගේ රජයේ ඇමැතිවරුන් සහ ඇය අතරේ රෝහල් කාමරයේදී අවස්ථා කිහිපයේදී විශේෂ සාකච්ඡා පැවැත්විණි. මේ වනවිට තමිල්නාඩු ප්‍රාන්තයේ පාලන කටයුතු සිදු කරන්නේ ජයලලිතාගේ අඩුව පුරවමින් ඇගේ ‘හය දෙනාගේ කණ්ඩායම’ යැයි ද වාර්තා වේ. එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ ජයලලිතාගේ පක්ෂ මහ ලේකම්වරිය මෙන්ම ඇගේ උපදේශිකාව ද වන ශීලා බාලක්රිෂ්ණන්ය.