ගුවන් සීමා වසා දැමීමෙන් අර්බුදයක්



පාකිස්තාන ගුවන් හමුදාව පහර දී ඉන්දීය ප්‍රහාරක යානා බිම හෙලීමේ සිදුවීමත් සමඟ පසුගිය 27 වැනිදා, පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය පාකිස්තාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තේය.

ඒ සමඟ පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් බලා පියාසර කරන ගුවන් යානා සහ ලාහෝර් සහ කරච්චි නුවරින් පිටත් වන ගුවන් යානා අවලංගු කෙරුණි. තම ගුවන් යානා ද මෙසේ අවලංගු කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනුම් දුන්නේය.

ඩුබායි එමිරේට්ස් ගුවන් සේවය, පාකිස්තානයටත් ඇෆ්ගනිස්තානයටත් පියාසර කරන ඔවුන්ගේ සියලු ගුවන් ගමන් අවලංගු කළේය. බහරේන් ජාතික ගුවන් සේවය වන ගල්ෆ් එයාර් ගුවන් සේවයත් ද ඔවුන්ගේ ගුවන් ගමන් අවලංගු කළේය.

ගුවන් ගමන් මෙසේ අවලංගු කිරීමත් සමඟ දහස් ගණනින් ගුවන් මගීන් දැඩි අපහසුතාවට ලක් වුණු අතර පාකිස්තානය බලා පැමිණීමට සූදානමින් සිටි පාකිස්තාන මගීන් බොහෝ දෙනකු විදෙස් ගුවන්තොටුපොළවල කොටු වූහ. ගුවන් ගමන් කටයුතු අද 28 යළි යථා තත්ත්වයට පත්විය.

ඒ, තාවකාලිකව වසා දැමුණු පාකිස්තාන ගුවන් කලාපය විවෘත කිරීමත් සමඟය. පාකිස්තානය ඔවුන්ගේ ගුවන් කලාපය තාවකාලිකව වසා දැමූ අවස්ථාවේදී ඉන්දියාව ද ඔවුන්ගේ ගුවන් කලාපයෙන් කොටසක් වසා දැමීමට පියවර ගත්තේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS