ගගනගාමියෙක් උඩ යවන්න පාකිස්තානය සැරැසෙයි



චීනයේ සහාය ඇතිව ලබන පාකිස්තාන ගගනගාමියකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියයි.

පාකිස්තාන අගමැතිවරයා මේ බව නිවේදනය කළේ ඉන්දියාව සාර්ථකව ඔවුන්ගේ ‘චන්ද්‍රයාන් 2’ සඳ ගවේෂණ මෙහෙයුම දියත් කිරීමත් සමඟය. ‘චන්ද්‍රයාන් 2’ යටතේ ගවේෂණ යානයක්, පණිවුඩ හුවමාරු යානයක් සහ රොබෝ රෝවර් යානයක් සඳ බලා යැවීමට ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත.

අභ්‍යවකාශයට යැවීමට සුදුසු ගගනගාමියා තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් තෝරා ගැනීමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, පාකිස්තාන ගුවන් හමුදා නියමුවන්ගෙන් කෙනෙකු අභ්‍යවකාශයට යන පළමු පාකිස්තාන ගගනගාමියා වනු ඇති බවත් විද්‍යා හා තාක්ෂණ ඇමැති ෆවාද් චෞද්‍රි පවසා ඇත.

අභ්‍යවකාශයට යැවීමට සුදුස්සකු තෝරා ගැනීම ලබන 2020 වසරේ පෙබරවාරියේ ආරම්භ වෙන බවත්, පනස් දෙනකු අතරින් අවසන් 10 දෙනකු තෝරා ගෙන, එම 10 දෙනාගෙන් දක්ෂයාට ගගනගාමීන්ට ලබා දෙන පුහුණුව ඔහුට ලබා දෙන බවත් පකිස්තාන විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයා පැහැදිලි කර ඇත. චීනයේ දහාය ඇතිව, මෙම ගගනගාමියා අභ්‍යවකාශයට යැවීම සිදුවනු ඇත්තේ 2022 දීය.

පාකිස්තානය ඔවුන් විසින් නිර්මාණය කරනු ලැබූ චන්ද්‍රිකා දෙකක් මේ වනවිට පෘථිවි කක්ෂයට යවා ඇත. පාකිස්තානය ඔවුන්ගේ ගගන කටයුතු සිදු කරන්නේ චීනයේ සහාය ඇතිවය. පාකිස්තානය එම චන්ද්‍රිකා උඩුගුවනට යැවීම කළේ චීනයේ රොකට්ටු ආධාරයෙනි.

අභ්‍යවකාශ කටයුතු අතින් පාකිස්තානය සිටින්නේ ඉන්දියාවට වඩා බොහෝ පිටුපසිනි. ‘චන්ද්‍රයාන් 2’ සඳ ගවේෂණ මෙහෙයුමට පෙර 2008 දී ඉන්දියාව ‘චන්ද්‍රයාන් 1’ මෙහෙයුම සාර්ථකව දියත් කළේය. සඳේ ජල අංශු ඇතැයි සොයා ගැණුනේ මෙම මෙහෙයුමේදීය. ඉන්දියාව අඟහරු ගවේෂණයට ද කුඩා රොබෝ යානයක් යවා ඇත. එම යානය තවමත් ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව, ඉන්දියාව ඔවුන් විසින් නිපදවන රොකට්ටු යොදා ගනිමින් වෙනත් රටවල චන්ද්‍රිකා පෘථිවි කක්ෂයේ රැඳවීම ද සිදු කරයි.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS