කොලොම්බියාවේ සාමය ඡන්දයෙන් බිඳ වැටේ
කොලොම්බියා රජය සහ ‘ෆාර්ක්’ ගරිල්ලන් අතර සටන් විරාමයට ඉදිරියට ගෙන යමින් සාම ගිවිසුමකට එළැඹෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පැවැති ජනමත විමසුමේදී බහුතරයක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ජනමත විමසුමේදී කොලොම්බියා වැසියන්ගෙන් සියයට 50.24ක් සාම ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ සියයට 49.8ක් පමණි. පක්ෂව විපක්ෂව ලැබුණු ඡන්දවල වෙනස ඡන්ද 63,---000ක් යැයි ද වාර්තා විය. මිලියන 13ක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර ඡන්දය භාවිත කර තිබුණේ සියයට 40ක ප්‍රමාණයක් යැයි ද වාර්තා විය. එය ඉතා අඩු අගයක් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් සහ ‘ෆාර්ක්’ නායක ටිමෝලියෝන් හිමේනේස් අතර පසුගිය සතියේදී සාම ගිවිසුමට අත්සන් තැබුණි. සාම ගිවිසුමට අත්සන් තැබුණේ වසර හතරක් පුරා පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.
කෙසේ වෙතත් සාම ගිවිසුම ක්‍රියාත්මක වීමට නම් කොලොම්බිය වැසියන් විසින් එය අනුමත කළ යුතුය. ජනමත විමසුම පවත්වන ලද්දේ ඒ සඳහාය. මෙවැනි ප්‍රතිඵලයක් ලැබේවි යැයි මා විශ්වාස කළා යැයි ද එසේ වුවත් සාමය ළඟා කරගැනීම සඳහා තවදුරටත් කටයුතු කරන බවත් ජාතිය අමතමින් කොලොම්බියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. සාම ගිවිසුමට ක්‍රියාත්මක කිරීමට ජනතාවගේ කැමැත්ත නොලැබුණත් සටන් විරාමය දිගටම ක්‍රියාත්මක කරන බවත් ඉදිරි පියවර තීරණය කිරීම සඳහා ඉදිරි දිනවලදී කියුබාවේදී සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත් ජනාධිපතිවරයා තවදුරටත් කීවේය.
“මම මෙය අත්හරින්නේ නැහැ. අවසාන මොහොත තෙක්ම සාමය ගෙනෙන්න මා කටයුතු කරනවා. මට බලය තිබෙන සාමය ගෙනෙන ක්‍රියාවලිය අත්හරින්නේ නැහැ. අපේ දරුවන්ට යහපත් ක්‍රමයක් ඇති කළ හැකි එකම ක්‍රමය එයයි” යැයි කොලොම්බියා ජනාධිපති කීය.
නැවත යුද්ධයක් ඇති නොවීමට වගා බලාගන්නා බව ජනමත විමසුමෙන් පසු ෆාර්ක් ගරිල්ලා සංවිධානයේ නායකයා ප්‍රකාශ කර තිබුණි.
“වෛරයත් පළිගැනීම් ආදිය නිසා කොලොම්බියා ජනතාවගේ මතය වෙනස් කළ බවත්, විනාශකාරී බලපෑම් ඊට හේතු වූ බවත් ඒ පිළිබඳව කනගාටු වන බවත් ” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.
දේශපාලන ක්‍රියාවලියට පිවිසීම සඳහා ‘ෆාර්ක්’ ගරිල්ලන් වසර 52ක පසු ආයුද බිම තැබීමට එකඟ විය. එහෙත් මෙම ගිවිසුම ඔස්සේ ෆාර්ක් ගරිල්ලන්ට වාසි සැලසෙන බව පිරිසක් චෝදනා කරති. එමෙන්ම එක්සත් ජනපදය තවමත් ෆාර්ක් ගරිල්ලන් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස හඳුන්වා දෙයි.
මෙම ගිවිසුම ඔස්සේ ගරිල්ලා නායකයන් සිරගත නොකරන අතර ඔවුන් වරදක් කර ඇති බව පාපොච්චාරණය කළ ද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. එමෙන්ම ඔවුන්ට ඉදිරි මැතිවරණ දෙකේදී ගරිල්ලා නායකයන්ට කොංග්‍රසයේ ආසන දෙකක් පිරිනැමීමට ද ගිවිසුම ඔස්සේ එකඟතාව පළ වී ඇත.
මෙම සටන් විරාමය ආරම්භ වූයේත් සාම මාවතකට පිවිසීමට ෆාර්ක් ගරිල්ලන් එකඟ වූයේත් පසුගිය කාලය තුළ විටින් විට පැවැති සාකච්ඡාවලින් පසුවය.
එම සාකච්ඡා පැවැත්වූයේ කියුබාවේදීය. කියුබා නායක රාවුල් කස්ත්‍රෝ ප්රමුඛ රජය මැදහත්කරු ලෙස කටයුකු කළේය. සාකච්ඡා සඳහා වාමාංශික ෆාර්ක් ගරිල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෝ කණ්ඩායමක් සහභාගී වූහ.
කොලොම්බියා රජය වෙනුවෙන් ගරිල්ලන්ගේ ඉල්ලීම්වලට කන් දී, ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට මූලිකත්වය ගත්තේ වත්මන් කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්ය.
මීට පෙර කොලොම්බියා රාජ්‍ය ගරිල්ලන් සමඟ සාම සාකච්ඡා පැවැත්වුවත් ඒ සියල්ල අසාර්ථක විය.
පොදු එකඟතාවකට පත් වීමෙන් පසු, ෆාර්ක් සංවිධානයේ නායක රොඞ්රීගෝ ලොන්ඩෝනෝ මාධ්‍ය හමුවේ තම කැරැලිකරුවන් අමතා කියා සිටියේ මැදියම් රැයේ සිට සටන් විරාමය ආරම්භ වන බවත්, සියලුම ෆාර්ක් ගරිල්ලන් අවි බිම දමා ඊට ගරු කරන බවත්ය.
කොලොම්බියානු ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ අදුරුතම පරිච්ඡේදයක අවසානය මෙම සටන් විරාමයත් සමඟ ආරම්භ වුණු බව කොලාම්බියානු ජනාධිපති සැන්ටෝස් ජාතිය අමතමින් කියා සිටියේය.
කොලාම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් අතර වසර පනස් දෙකක් තිස්සේ පැවැති ගැටුම්වලින් 260,000 දෙනකු මියගොස් ඇත. උන්හිටිතැන් අහිමි වූ පිරිස මිලියන ගණනකි.
දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවලදී එකඟ වූ පරිදි ලබන ඔක්තෝබර් මාසයේ දී ජනමත විමසුමක් පැවැත්වීමට ද නියමිතය. ඒ, වාමාංශික ෆාර්ක් ගරිල්ලන් දේශපාලන මාවතකට ගෙන ඒමේ අරමුණින්ය. ඒ වෙනුවෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව කොලොම්බියා රජය පවසයි.
‘කොලොම්බියානු විප්ලවීය හමුදාව’ හෙවත් ෆාර්ක් ගරිල්ලන් අවි අතට ගෙන අසාධාරණවට ලක් වුණු සිවිල් වැසියන් වෙනුවෙන් දක්ෂිණාංශික මතධාරී රජයට එරෙහිව සටන් ආරම්භ කළේ 1964 වසරේදීය. ෆාර්ක් සංවිධානය බිහිවූයේ කොලොම්බියානු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ එකමුතුවෙනි.
මොවුන් ක්‍රියාත්මක වූයේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාවේ වයඹදිග පළාත් කේන්ද්‍රකොට ගනිමිනි. මොවුහු රජයේ නිලධාරීන්, හමුදා නිලධාරීන් ව්‍යාපාරිකයන් පැහැරගෙන කප්පන් ගැනීම් ද සිදු කළහ. මෙම ගරිල්ලෝ තම සංවිධානයේ කටයුතු සඳහා මුදල් රැස් කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම් ද කළහ. 2013 වසර වෙද්දී 10,000 ක කැරැලිකරුවෝ පිරිසක් මෙම සංවිධානය සමඟ එක් වී සිටියහ. මොවුහු ඇමෙරිකාවට හිතවත් කොලොම්බියා රාජ්‍ය තම සතුරන් ලෙස සැලැකූහ.