කොලොම්බියා සාම ගිවිසුමට කොංග්‍රස් අනුමැතිය



 (ඒ.එෆ්.පී)
කොලොම්බියාවේ අඩ සියවසක සිවිල් යුද්ධය නිමා කරමින් ෆාක් ගරිල්ලන් සමඟ අත්සන් තැබූ සාම ගිවිසුමට අද (01) එරට කොංග්‍රස් සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය. 
කොලොම්බියා කොංග්‍රස් සභාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී 130-0 ක් සාම ගිවිසුමට අනුමැතිය හිමි වූ අතර ඊට සෙනට් සභාවේ ද අනුමැතිය හිමිවිය. කෙසේ වෙතත් සාම ගිවිසුම අනුමැතිය හිමිවන අතරවාරයේ එරට විපක්ෂයේ විරෝධතා ඉදිරිපත් වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  
කොංග්‍රස් මණ්ඩලයේදී අනුමැතිය හිමිවීම සාම ගිවිසුමට ලැබුණු විශාල පිටිවහලක් බව කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් පැවසීය. කොලොම්බියාවට සාමය උදා කිරීම සඳහා ඔහුගේ කාර්යභාරය කැපවීමෙන් හේතුවෙන් මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ද හිමිවිය. කෙසේ වෙතත් මීට පෙර සාම ගිවිසුම සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවති අතර එහිදි කොලොම්බියා වැසියෝ සාම ගිවිසුම ප්‍රතික්ෂේප කළහ. ඉන් අනත-ුරුව සංශෝධනය කරන ලද සාම ගිවිසුම මෙලෙස කොලොම්බියා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. පළමු වරට ඉදිරිපත් කරන ලද සාම ගිවිසුමට මෙන් සංශෝධනය කරන ලද සාම ගිවිසුමට ජනමත විමසුමක් අවශ්‍ය නොවීය. 
වාමාශිංක ෆාර්ක් ගරිල්ලන් සමඟ එකඟතාවකට පැමිණි සටන් විරාමය ඉතා දුර්වල යැයි ද එම නිසා කඩිනමින් සාම ගිවිසුමට අනුමත කළ යුතු යැයිද කොලොම්බියා රජයේ සාම ගිවිසුම සම්බන්ධයෙන් ෆාර්ක් ගරිල්ලන් සමඟ සාකච්ඡා පැවැත්වූ හම්බාර්ටෝ ඩි ල කාල් පැවසීය. 
දශක පහක් මුළුල්ලේ කොලොම්බියා රජයත් ෆාර්ක් ගරිල්ලනුත් අතර පැවැති සිවිල් යුද්ධයෙන් 260,000කට වැඩි පිරිසක් මියගිය බව පැවසේ. හැට දහසකට වැඩි සංඛ්‍යාවක් අතුරුදන් වූහ. 
ඒ අනුව සටන්කාමීන් ආයුද අත්හැර දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට නියමිතය. ඉදිරි මාස හයක කාලයේදී මේ සඳහා කටයුතු සැකසෙනු ඇත. කොලොම්බියා රජයේ හමුදා ෆාර්ක් ගරිල්ලන් සිටි ප්‍රදේශවලට යෑමට නියමිත අතර ඔවුන් එහිදි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව පියවර ගැනීමට නියමිතය. ෆාර්ක් ගරිල්ලන් නව වාසස්ථානවලට ගමන් කරනු ඇත. 
කොලොම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් වසර හතරක කාලයේ කියුබාවේ හවානා නුවර පැවැති සාකච්ඡාවලින් අනතුරුව මේ වසරෙ ආරම්භයේදී සාම ගිවිසුමකට එකඟතාව පළ කළහ. 
සංශෝධනය කළ ද සාම ගිවිසුම තවමත් ෆාර්ක් ගරිල්ලා නායකයන්ට  වැඩි වාසි සලසා ඇතැයි කොලොම්බියා විපක්ෂයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අල්වාරෝ උරිබා පැවසීය.

RECOMMEND POSTS