කිම් ජොන් නාම් ඝාතනයට අත්අඩංගුවට ගත් කාන්තාව නිදහස්
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අඩසොයුරු කිම් ජොන් නාම් ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට වසර දෙකකට ආසන්න කාලයක් මැලේසියාවේ සිරදඬුවම් විඳිමින් සිටි වියට්නාම් කාන්තාව 30 හැවිරිදි දොඅන් තී හුඔන්ග් නිදහස ලැබුවාය.
මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළේ දී කිම් ජොන් උන්ගේ අඩසොයුරු කිම් ජොන් නාම් ඝාතනය වූයේ 2017 වසරේ පෙබරවාරියේදීය. එම ඝාතනය සිදු කළේ යැයි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගැණින. කිම් ජොන් නාම් ඝාතනයට යොදා ගෙන ඇත්තේ වී.එක්ස්. නමැති තහනම් කරනු ලැබූ විස රසායනික වායුව යැයි ද පරීක්ෂණවලදී තහවුරු විය.
චෝදනාවලට වරදකාරිය වූ දොඅන් තී හුඔන්ග්ට වසර කිහිපයක සිරදඬුවමක් නියම විය. ඒ අනුව, ඇය බන්ධනාගාර ගත කෙරුණි. පසුගිය මාසයේ දොඅන් තී හුඔන්ග් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඇගේ සිරදඬුවම ලිහිල් කරන ලෙසටය.
ඒ අනුව, චෝදනා ඉදිරිපත් කළ මැලේසියා නීතීඥවරුන් ඇයට එල්ල කළ චෝදනා ඉවත දැමීම කළේය. කිම් ජොන් නාම් ඝාතනයට වරදකරු වූ එකම තැනැත්තිය වූයේ ද දොඅන් තී හුඔන්ග් ය. අත්අඩංගුවට ගත් ඉන්දුනීසියා ජාතික තරුණියට ද නිදහස හිමිවිය.
නිදහස ලැබූ දොඅන් තී හුඔන්ග්, ආපසු වියට්නාමය බලා යනු ඇතැයි ඇගේ නීතීඥ හිස්යාම් තේ පොහ් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇතැයි ද වාර්තා වේ.
ක්වාලාලාම්පූර්හිදීය (රොයිටර්ස්)