කිම් ජොන් උන් හමුවන්න ට්රම්ප් කැමැත්තෙන්
‘ජී20’ සමුළුව අවසන් කර දකුණු කොරියාවට පැමිණෙද්දී, තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට කැමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් පවසා ඇත.
දකුණු කොරියා සහ උතුරු කොරියා දේශසීමාවේ, දෙරටටම අයත් යුද මුක්ත කලාපයේ දී තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී, සුවදුක් විමසීමට කටයුතු කරන බව ට්රම්ප් පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් මගිනි.
ජපානයේ ඔසාකා නුවර ‘ජී20’ සමුළුව අතරතුරේ ට්රම්ප් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර විශේෂ හමුවක් ද පැවැත්විණි. එහිදී උතුරු කොරියා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව ද වාර්තා වේ. සමුළුව අවසන් වීමෙන් පසු ට්රම්ප් දකුණු කොරියාවට යන්නේ සමුළුවට සහභාගී වූ දකුණු කොරියා ජනාධිපති සමඟය.
ඇමෙරිකාවත් උතුරු කොරියාවත් අතර යහපත් සබඳතා වර්ධනය කිරීමට එක් මැදහත්කරුවකු වන්නේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ය.
ඔසාකාහිදීය (රොයිටර්ස්)