කැනඩාවට 150 යි
නිල වශයෙන් රටක් ලෙස නම් කර, එකසිය පනස් වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන්, ජූලි පළමු වැනිදා කැනඩාවේ සැමැරුම් උත්සව පැවැත්විණි.
බහු සංස්කෘතික රාජ්‍යයක් ලෙස ද සැලකෙන කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයෙකි. එහෙයින්, එරට රාජ්‍ය නායිකාව වන්නේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනය.
ඔටෝවා නුවර පැවැති ප්‍රධාන සැමැරුම් උත්සවයට මහ රැජින වෙනුවට සහභාගී වූයේ පුතු චාල්ස් කුමරුය. චාල්ස් කුමරු සමඟ ඔහුගේ බිරිඳ කැමිලා පාකර් කොන්වෝල් ආදිපාදවරිය ද පැමිණියාය.
චාල්ස් කුමරු උණුසුම් ලෙස පිළිගැනීමට කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කටයුතු කළේය. 150 වැනි සැමරුම නිමිත්තෙන් චාල්ස් කුමරු සහ කැනඩා අගමැති ටෘඩෝ විශේෂ දේශන ද පැවැත් වූහ.
ඔටෝවා නුවර සැමැරුම් උත්සවය පැවැතියේ වර්ෂාව මධ්‍යයේය. වර්ෂාවෙන් බාධා වුවත් දස දහස් ගණනින් කැනඩා වැසියෝ එම සැමැරුම් උත්සවය නැරැඹීමට පැමිණ සිටියහ. කැනඩා අශ්වාරෝහක බළඇණියේ මහ හමුදාවේ පෙළපාළි පමණක් නොව ගුවන් සංදර්ශනයක් පවා සැමරුම් උත්සවයට ඇතුළත් වී තිබුණි.
වර්ෂාවෙන් බාධා එල්ල වුවත් සැමරුම් උත්සවය නැරැඹීමට පැමිණීම ගැන කැනඩා වැසියන්ට අගමැති ටෘඩෝ ස්තුතිය පුද කළේය. එම අවස්ථාවට අගමැති ටෘඩෝගේ බිරිඳ සහ දරු දැරියෝ ද එක්වී සිටියහ.
ඔටෝවා නුවර සැමැරුම් උත්සවය පැවැත් වූයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආශ්‍රිතවය. ප්‍රධාන සැමැරුම් උත්සවයට අමතරව, කැනඩාව පුරා ප්‍රධාන නගර රැසක සැණකෙළි පැවැත්වුණු බව ද වාර්තා වේ.
ජූලි පළමු වැනිදා දින උදා වෙද්දී, දැවැන්ත මෙන්ම ඉතා අලංකාර මල්වෙඩි සංදර්ශනයක් ද පැවැත්විණි. ඊට සමගාමීව, අතිශයින් ජනප්‍රිය ‘යූ ටූ’ රොක් සංගීත කණ්ඩායම ප්‍රසංගයක් ද පැවැත්වීය. සුප්‍රසිද්ධ ගායක ගායිකාවෝ රැසක් ගීත ගායනයට එක් වූහ.
මේ අතර කැනඩාව ස්වදේශික ජනතාවගෙන්, මෙම 150 සැමැරුමට විරෝධයක් එල්ල වී ඇත.ඔවුන් පවසන්නේ කැනඩාවට වසර 150 කට වැඩි ඉතිහාසයක් ඇති බවත්, තමන්ගෙන් රට උදුරා ගත් සුදු ජාතිකයන් රටේ ඉතිහාසය විකෘති කර ඇති බවත්ය.
කැනඩා ස්වදේශිකයෝ වසර දහස් ගණනක් තිස්සේ එරට වාසය කළහ. ඒ එංගලන්තයෙන් සහ ප්‍රංශයෙන් සංක්‍රමණිකයන් පැමිණ කැනඩාව ආක්‍රමණය කිරීමට පෙරය.
(ඒ.එෆ්.පී./රොයිටර්)