කළු කුහර සොයන්න යානයක් යයි



ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය හෙවත් ‘ඉස්රෝ’ නව වසරේ වැඩ අරඹමින්, විශ්වයේ කළු කුහර සහ නියුට්‍රෝන තරු අධ්‍යයනයට රොබෝ යානයක් යැවීය.

මීට පෙර, කළු කුහර ගවේෂණයට, රොබෝ යානයක් යවා තිබුණේ ඇමෙරිකාවේ නාසා ආයතනය පමණි. ඒ අනුව, ඉන්දියාවේ මෙම ගවේෂණ මෙහෙයුම ඉතා වැදගත් වෙයි.

ඉන්දීය විද්‍යාඥයන්, ඔවුන්ගේ මෙම ගවේෂණ යානය නම් කර ඇත්තේ, ‘එක්ස් රේ පෝලර් මීටර් ගවේෂණ චන්ද්‍රිකාව’ යනුවෙනි. කෙටියෙන් මෙය ‘එක්ස්පෝසැට්’ යනුවෙන් යැයි ද හැඳින්වෙයි.

‘එක්ස්පෝසැට්’ රොබෝ යානය, උදෑසන 9.32 ට, ඉන්දියාවේ ශ්‍රී හරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවනට යැවීම සිදුවිය. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත ‘පී.එස්.එල්.වී. සී 58’ රොකට්ටුව ආධාරයෙනි. ‘එක්ස්පෝසැට්’ රොබෝ යානයේ මෙහෙයුම් කාලය අවුරුදු 5 ක් බව පැවැසෙයි.

විශ්වයේ ඇති ප්‍රධානතම අබිරහස ලෙස තාරකා විද්‍යාඥයන් හඳුන්වා දී ඇත්තේ කළු කුහරය. කළු කුහරයක් යනු, ආලෝකයට පවා පිටතට යෑමට නොහැකි ආකාරයට, ගුරුත්වාකර්ෂණය ප්‍රබල ස්ථානයකි. තරුවක් මිය ගිය පසු කළු කුහර නිර්මාණය වන බව විද්‍යාඥයන්ගේ අදහසය.

නියුට්‍රෝන තරු යනුවෙන් හැඳින්වෙන්නේ, ගුරුත්ව බලවේග විසින් දැඩි ව සම්පීඩනයට පත් කරනු ලැබූ තරුවක, පරිණාම ක්‍රියාවලියේ අවසාන අදියරය. ප්‍රමාණයෙන් කුඩා වුවත්, නියුට්‍රෝන තරු ස්කන්ධයෙන් විශාලය.

අභ්‍යවකාශ ගවේෂණයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වී සිටී. පසුගිය 2023 වසරේ ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ ඉන්දියාව සාර්ථකව සඳට රොබෝ රෝවර් යානයක් සහ ගවේෂණ යානයක් යැවීය. ඉන්පසු හිරු අධ්‍යයනයට ‘ආධිත්‍ය’ යනුවෙන් රොබෝ යානයක් යැවීය.

එම ජයග්‍රහණවලින් ලැබූ පන්නරයත් සමඟ කළු කුහර අධ්‍යයනයටත්, නියුට්‍රෝන තරු අධ්‍යයනයටත් ‘එක්ස් රේ පෝලර් මීටර් ගවේෂණ චන්ද්‍රිකාව’ යැවීම සිදු කළ බව ඉන්දීය විද්‍යාඥයෝ පැහැදිලි කරති.


RECOMMEND POSTS