එක්වදෝර් පොලිසියේ අටක් ප්‍රාණඇපයේ



එක්වදෝර් රජයට එරෙහිව විරෝධතා පවත්වන එරට ස්වදේශීය ජනයා, පොලිස් නිලධාරීන් අට දෙනකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රාණ ඇපයට ගත් එම පොලිස් නිලධාරීන්ගෙන් එක් අයකු කාන්තා නිලධාරිනියකි. එක්වදෝරය ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. එරට ස්වදේශික වැසියන් එකමුතු වී, විරෝධතා මෙහෙයවන්නේ, ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙනි.

එක්වදෝර් ජනාධිපති ලෙනින් මොරේනෝ, විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය යොදවයි. පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරයි. ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ එසේ විරෝධතාකරුවන්ට පහරදීමට ආ පොලිස් නිලධාරීන්ගෙන් අට දෙනෙකි.

ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් එක්වදෝර් රජයට එරෙහිව විරෝධතා පවත්වන විරෝධතාකරුවෝ පසුගිය දා එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණාහ.

විරෝධතා හේතුවෙන් ක්විටෝ අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණු නමුත්, ආරක්ෂාවට යොදවා සිටි එම නිලධාරීන් තල්ලු කර ගනිමින් විරෝධතාකරුවන් ගොඩනැගිල්ලට කඩා වැදුණු බව පැවැසෙයි.

කෙසේ නමුත් පොලිසිය වහා ක්‍රියාත්මක වී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට පියවර ගත් බව එක්වදෝර් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරයේ විරෝධතා පැවැත්වෙන්නේ සතියක පමණ කාලයක පටන්ය. විරෝධතා උත්සන්න වීමත් සමඟ රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට එක්වදෝර් ජනාධිපතිවරයා පසුගිය දා තීරණය කළේය.

ඉන්ධන මිල පහළ දැමීමට පියවර ගනිමින් ජනතාවට සහනයක් දෙන්නැයි විරෝධතාකරුවෝ එක්වදෝර් ජනාධිපති ලෙනින් මොරේනෝගෙන් ඉල්ලා සිටියත්, ජනපතිවරයා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැවැසෙයි.

මේ හේතුව නිසා විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇත. විරෝධතා පවත්වන්නේ එක්වදෝරයේ ස්වදේශීක වැසියන්ගේ එකමුතුවය. මීට පෙර අවස්ථා තුනකදී එක්වදෝරයේ ආණ්ඩු පෙරැළීමට ස්වදේශීක ජනතාවගේ මෙවැනි විරෝධතා හේතුවක් වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ක්විටෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS