උතුරු කොරියා උප විදෙස් ඇමැති ගොවිපොලකට පිටුවහල් කරලා





උතුරු කොරියා නායක කිම් ජොන් උන්, එරට උප විදේශ ඇමැති කන්ග් සොක් අන්ග් සමඟ උරන වී, දඬුවමක් ලෙස ඔහු සහ ඔහුගේ පවුලේ අය පිටිසර ගොවිපොලක් බලා ගැනීමටත් එහි වැඩ කිරීමටත් යොදවා ඇතැයි දකුණු කොරියානු පුවත්පතක් වාර්තා කරයි.
මේ බව වාර්තා කළේ දකුණු කොරියාවේ ජූන්ග් අන්ග් ලිබෝ නමැති දිනපතා පුවත්පතය. උතුරු කොරියා නායකයා කන්ග් සොක් අන්ග් උප විදෙස් ඇමැති ධුරයෙන් ද පහ කර, එම ගොවිපොල බලා ගැනීමට යවා ඇත්තේ පිටුවහල් කිරීමක් වශයෙන් යැයි ද පුවත්පත වාර්තා කර තිබේ. මෙය සිදුවී ඇත්තේ ඉකුත් ජූනි මාසයේය.
උතුරු කොරියානු නායකයා සහ ජූන්ග් අන්ග් ලිබෝ අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යැයි ද පැවැසෙයි.
න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන හේතුවෙන් උතුරු කොරියාව මේවනවිට ලොවෙන් හුදෙකලා වී සිටී. ඒ, එරටට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බාධක පනවා ඇති නිසාය. උතුරු කොරියාව සම්බන්ධකම් පවත්වන්නේ නම්, ඒ චීනය සහ රුසියාව සමඟ පමණි.
පියාගේ අභාවයෙන් පසු කිම් ජොන් උන්ට බලය උරුම වූයේ 2011 වසරේදීය. ඉන්පසු තමාට අභියෝගයක් වුණු සියලුම ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සහ ඇමැතිවරුන්ට මරණ දඬුවම දීමට කිම් ජොන් උන් ක්‍රියා කළ බව පැවැසෙයි. දකුණු කොරියානු බුද්ධි අංශ පවසා ඇත්තේ රජයේ නිලධාරීන් 100 දෙනකුට පමණ මෙසේ මරණ දඬුවම හිමි වී ඇති බවය.

 


RECOMMEND POSTS