ඉන්දීය නව විදේශ ඇමැති සුබ්‍රමන්යම් ජයිශංකර්



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 58 දෙනකුගෙන් සමන්විත වන අතර ඇමැතිවරුන්ට ඔවුන්ගේ අමත්‍යාංශ බාරදීම ඊයේ (31) සවස සිදුවිය.

ඒ අනුව ඉන්දීය විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති, පරිනත රාජතාන්ත්‍රිකයකු ලෙස දෙස් විදෙස් කීර්තියට පත් 64 හැවිරිදි සුබ්‍රමන්යම් ජයිශංකර්ට ඉන්දීය විදේශ ඇමැති ධුරය හිමිවිය.

සාමාන්‍යයෙන් ඉන්දීය දේශපාලනයේ ප්‍රධාන පෙලේ කැබිනට් අමාත්‍ය ධුර හිමිවන්නේ පක්ෂයේ කැපී පෙනෙන හිතවාදීන්ට සහ සන්ධානගතවන පක්ෂවල විශේෂ කාර්යභාරයක් ඉටුකරන සාමාජිකයන්ටය.

අත්දැකීම් බහුල විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු වන සුබ්‍රමන්යම් ජයිශංකර් ට ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය හිමිවීම සුවිශේෂී සිදුවීමක් බව ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
සුබ්‍රමන්යම් ජයිශංකර් ඇමෙරිකාවේත් චීනයේත් පමණක් නොව රටවල් ඉන්දීය තානාපති ලෙස සේවය කර ඇත.

2017 දී ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ගැටලු සම්බන්ධයෙන් නිර්මාණය වූ අර්බුදය සහ යුදමය තත්ත්වය, සාමකාමී අයුරින් සමතයකට පත් කිරීමට සමත් වූයේ සුබ්‍රමන්යම් ජයිශංකර්ගේ මැදිහත් වීමෙනි.

මන්මෝහන් සිං ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, ඉන්දියා ඇමෙරිකා න්‍යෂ්ටික සාකච්ඡා සාර්ථක කර ගැනීම සිදුවූයේ ද සුබ්‍රමන්යම් ජයිශංකර්ගේ මැදිහත් වීමෙනි.

පසුගිය බ්‍රහස්පතින්දා (30) කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේදී, ඊට මන්මෝහන් සිං ද සහභාගී වී සිටියේය.

සුබ්‍රමන්යම් ජයිශංකර් වේදිකාවට නැග දිවුරුම් දීමෙන් පසු ඔහු වෙත පැමිණ පළමුවෙන් ඔහුට සුබ පැතුවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං යැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS