ඉන්දියාවේ කාශ්මීර ප්‍රහාරය සෝනියාගේ පැසසුමට
ඉන්දු කාශ්මීරයේ පාකිස්තාන බෙදුම්වාදී ත්රස්තයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ඉන්දීය රජය ගත් ‘නිර්භීත’ තීරණය ප්‍රසංශනීය බවත්, පක්ෂ භේදයකින් තොරව සැවොම ඊට සහාය දැක් විය යුතු බවත් ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි කියයි.
ඉන්දීය රජයේ අනුමැතිය පරිදි, එරට හමුදාව, බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු පාදක කර ගනිමින්, කාශ්මීරයේ පාකිස්තාන පාලනයට නතු ප්‍රදේශවල සැඟවී සිටින බෙදුම්වාදී ත්රස්තයන් ඉලක්ක කර ගෙන ෂෙල් වෙඩි ප්‍රහාර ආරම්භ කළේ පසුගිය 28 වැනිදා මැදියම් රැයේ සිටය.
ඉන්දීය රජය මෙසේ පාකිස්තාන කාශ්මීරයට පහර දීම ආරම්භ කළ අවස්ථාවේදී, ජම්මු කාශ්මීර ප්‍රාන්ත මහ ඇමැතිනිය මෙහ්බූබා පවා දැඩි විරෝධය එල්ල කළාය. ඇය කියා සිටියේ මෙම ප්‍රහාරය ඉන්දු පාකිස්තාන යුද්ධයක් තෙක් දුරදිග යාවි කියාය.
කොංග්රස් නායිකා සෝනියා පෙන්වා දෙන්නේ, පාකිස්තානය දිගින් දිගටම ඉන්දියාවට කරන කෙණෙහිලිකම්වල සීමාවක් තිබිය යුතු බවත්, එසේ කෙණෙහිලිකම් කරද්දී ඉවසා සිටීම බියගුළු ක්‍රියාවක් බවත්ය. කොංග්රස් පක්ෂ නායිකාව මේ බව මාධ්‍ය හමුවේ කියා සිටියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ කොංග්රස් පක්ෂයට සහාය දක්වන සෙසු සුළු පක්ෂවල නායකයන් හමුවී සාකච්ඡා කිරීමෙන් ද පසුවය. සෝනියා ගාන්ධි හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවී, ඉන්දියාවත් පාකිස්තානයත් අතර හටගත් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
වත්මන් මෙම අර්බුදය සම්බන්ධයෙන්, රජය ගත් තීරණ සහ ඉදිරියේ දී ගන්නා තීරණවලදී කොංග්රස් පක්ෂයේත්, කොංග්රස් පක්ෂයට සහාය දක්වන සෙසු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලත් සහාය අගමැති මෝදිගේ රජයට හිමි වන බව ද සෝනියා ගාන්ධි පවසා ඇත.
ඉන්දීට රජයටත් හමුදාවටත් සුබ පතමින් සෝනියා ගාන්ධි වැඩිදුරටත් කියා සිටියේ, ඉන්දියාව රටේ ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාව තහවුරු කරමින්, තමන්ගේ ස්ථාවරත්වය පැහැදිලි ලෙස පාකිස්තානයට දැනුම් දුන් බවය.
ඉන්දියාවත් පාකිස්තානයත් අතර මෙසේ අර්බුදයක් නිර්මාණය වූයේ පසුගිය සැප්තැම්බර් 18 වැනිදා, පාකිස්තාන බෙදුම්වාදී ත්රස්තයන් කණ්ඩායමක් ඉන්දු කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයේ ඉන්දීය යූරි හමුදා කඳවුරකට කඩා වැදී කළ පහරදීමේ සිදුවීමත් සමඟය. එම ඉස්ලාමීය බෙදුම්වාදීන් කළ ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවෝ 18 ක් ජීවිතක්ෂයට පත් වූහ.
යූරි හමුදාකඳවුරට පහර දුන් එම බෙදුම්වාදී ත්රස්තයන්ට සහාය දෙන්නේත් අනුග්‍රහය ලබා දෙන්නේත් පාකිස්තානය යැයි ඉන්දීය රජය සහ බුද්ධි අංශ පවසයි. ඉන්දියාව පවසන්නේ, ඒ බව ඔප්පු කිරීමට ප්‍රබල සාක්ෂි ද තමන් සතුව ඇති බවය.
මේ සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පවසා ඇත්තේ ඉන්දියාව පදනම් විරහිත චෝදනා එල්ල කරන බවය. යූරි කඳවුරට එල්ල වුණු ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව ද පාකිස්තාන රජය පවසා ඇත.