ඇමෙරිකාවට රුසියාවෙන් අනතුරු ඇඟවිමක්
සිරියානු රෙජීමයට එරෙහිව සෘජු පියවර ගැනීම මැද පෙරදිග අහිතකර තත්ත්වයක් ඇති කරනු ඇතැයි රුසියාව ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු අඟවා ඇත.
මේ අතර වාරයේ රුසියාව සහාය ද සහිතව සිරියානු ගුවන් හමුදා ඇලෙපෝ වෙත දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ගල්ෆ් කලාපයේ රටවල් හා බටහිර රටවල් රැසක් ඒ සම්බන්ධයෙන් සිරියාවටත් රුසියාවටත් චෝදනා එල්ල කර තිබුණි.
සිරියානු රජයටත් සිරියානු හමුදාවටත් එරෙහින ඇමෙරිකා සෘජු පියවර ගත හොත් එය මෙතෙක් නොවූ විනාශයක් සිදු වනු ඇති බවත් එය සිරියාව තුළ පමණක් නොව කලාපය තුළ ද විනාශකාරී තත්ත්වයක් ඇති කරනු ඇතැයි රුසියා විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා ෂකාරෝවා උපුටා දක්වමින් එරට ස්පුට්නික් පුවත් සේවය වාර්තා කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් පහ කිරීමට කටයුතු කරමින් සිටින බවත් එයින් සිදුවන්නේ ත්රස්තවාදීන්ට අවස්ථාව සැලසීමක් පමණක් බවත් ඇය ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගිය සතියේදී සිරියාවේ සිවිල් වැසියන් පිරිසක් හමු වී සාකච්ඡා කර ඇති අතර එහිදි සිරියානු හා රුසියානු ගුවන් ප්‍රහාර මධ්‍යයේ වුවද ඇමෙරිකාව සිරියානු අර්බුදයට මැදිහත් වන බව පවසා ඇතැයි සී.එන්.එන් පුවත් සේවය වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් ඇලෙපෝ නගරයට දැඩි වෛද්‍යාධාර අවශ්‍යතාවක් ඇතැයි සහන සේවා කණ්ඩායම් පෙන්වාදෙයි. නැගෙනහිර ඇලෙපෝ හි පමණක් සිටින පිරිස 300,000කට ආසන්නය.
ඉකුත් සැප්තැම්බර් 22 වැනිදා එක්සත් ජනපද - රුසියා සටන් විරාමය කඩ වීමෙන් පසු මේ දක්වා කාලය තුළ මියගිය පිරිස 450කට වැඩිය.