ඇමෙරිකා රජය අඩපණ වෙයි
අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීමත් සමඟ ඇමෙරිකා රජයේ කටයුතු ඉකුත් සිකුරාදා (21) රාත්‍රියේ සිට අකර්මණ්‍ය විය.
අයවැය සම්මත කර ගැනීමට නොහැකි වූයේ ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට යෝජිත දේශසීමා තාප්පයට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය නොලැබීමත් සමඟය. මෙම දේශසීමා තාප්පය සම්බන්ධයෙන් ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.
අසල්වැසි මෙක්සිකෝව වෙන්කරමින්, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදිකිරීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහසක් මෙන්ම එය ඔහුගේ ඡන්ද පොරොන්දුවකි. තාප්පය ඉදිකිරීම සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 5 ක මුදලක් ට්‍රම්ප් පරිපාලනය විසින් වෙන් කරනු ලැබ ඇත.
එම මුදල අනුමැතිය සඳහා සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත් ඊට අනුමැතිය නොලැබුණු බව වාර්තා වේ. ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන්ටය. කෙසේ නමුත් ට්‍රම්ප් විසින් යෝජිත දේශසීමා තාප්පයට ඇතැම් රිපබ්ලිකන්වරුන්ගෙන් පවා විරෝධයක් එල්ල වී ඇත.
අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීමත් සමඟ සියයට 25 ක් රාජ්‍ය ආයතන සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම අඩපණ වී ඇතැයි වාර්තා වේ. අකර්මණ්‍ය වූ ආයතන අතර, ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව පමණක් නොව, ස්වදේශ ආරක්ෂක කටයුතු අමත්‍යාංශය ද වෙයි.
මෙම ආයතනවල නිලධාරීන්ට වැටුප් ගෙවීම මේ වනවිට ගැටළුවක් වී තිබේ. ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේ ලක්ෂ අටක ෆෙඩරල් සේවකයන් පිරිසකට වැටුප් අහිමි වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවය.
(ඒ.එෆ්.පී.)