ඇමෙරිකා මගී දුම්රියක් දින දෙකක් හිමේ හිරවෙලා
ඇමෙරිකාවේ මගී දුම්රියක් දින දෙකකට ආසන්න කාලයක් තිස්සේ හිමේ සිරවී තිබුණු බවත්, එම දුම්රියේ මගීන් 183 දෙනකු සිටි බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
දුම්රියේ මගීන් අතරේ කුඩා දරුවන් සහ කාන්තාවන් බොහෝ දෙනකු සිට ඇත. අධික හිම පතනය හේතුවෙන්, ගමනාගමන කටයුතු අඩපණ වී, හිම තට්ටු අතරේ සිරවී ඇත්තේ සියැටල් සිට ලොස් ඇන්ජලීස් තෙක් ධාවනය වෙමින් පැවැති මගී දුම්රියයි.
දුම්රිය මාර්ගය මීටර් දෙකක් උසට හිම තට්ටුවලින් වැසී ගියේ යැයි ද පැවැසෙයි. අධික හිමපතනය හේතුවෙන් දුම්රිය මාර්ගයට ගස් කඩා වැටුණු බව ද පැවැසෙයි.
හිම තට්ටු අතරේ සිරවුණු මගී දුම්රිය අම්ට්රැක් නමැති දුම්රිය සමාගමට අයත් එකකි. එම සමාගම දුම්රිය ඇන්ජිමක්, හිම තට්ටු අතරේ සිරවුණු මගී දුම්රිය වෙත යැවූ බවත් ඇන්ජිමේ ආධාරයෙන් මගී දුම්රිය ඔරෙගන් ජනපදයේ යූජීන් තෙක් ඇදගෙන ඒමට කටයුතු කළ බවත් පැවැසෙයි. ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේ මගී දුම්රිය පැය 40 ක් තිස්සේ හිමේ සිරවී තිබුණු බවය.
ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්ස්)