ඇමෙරිකා-චීන වෙළෙඳ සාකච්ඡා ඇරැඹේ
හටගත් ‘වෙළෙඳ යුද්ධය’ අවසන් කිරීමේ අරමුණින් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවත්, දෙපාර්ශ්වයටම වාසි වන අයුරින් පොදු එකඟතාවක් ඇති කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් ඇමෙරිකාව සහ චීනය පවසයි.
දෙරට අතර හටගත් වෙළෙඳ යුද්ධය සාමකාමී අයුරින්, සාකච්ඡා කර විසඳා ගත යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර එකඟතාවක් ඇති කර ගැනුනේ ඉකුත් සති අන්තයේ ජපානයේ ඔසාකා නුවර පැවැති ‘ජී20’ සමුළුවට සමගාමීවය.
ඇමෙරිකාවක් චීනයත් අතර ‘වෙළෙඳ යුද්ධයක්‘ හටගත්තේ, චීනය ගෝලීය වෙළෙඳපොළේ පමණක් නොව, ඇමෙරිකාවේ ද ඒකාධිකාරයක් පවත්වාගෙන යනවා යැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්රම්ප් චෝදනා කිරීමත් සමඟය. 2016 ජනාධිපතිවරණයේදී පවා ට්රම්ප් ඇමෙරිකානුවන්ට පොරොන්දු වී තිබුණේ, චීනය විසින් උදුරා ගත් ඇමෙරිකානුවන්ගේ රැකියා යළි ඇති කරන බවටය.
චීනයට නව තීරු බදු පැනැවීමට ජනපති ට්රම්ප් කටයුතු කළේය. චීන ජනපති ෂී ජින්පින් ද ඊට නොදෙවැනි අයුරින්, ඇමෙරිකාවට තීරු බදු පැනැවීමක් සිදු කළේය. වෙළෙඳ යුද්ධය නිර්මාණය වූයේ ඒ අනුවය.
ජපානයේ ඔසාකා නුවර ‘ජී20’ හෙවත් 20 දෙනාගේ කණ්ඩායමේ හමුවට සහභාගී වීමට යන අවස්ථාවේදී පවා ජනපති ට්රම්ප් කියා සිටියේ තමන් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තවත් අමතර ඇමෙරිකන් ඩොලර් බිලියන 300 ක තීරු බදු පැනැවීමට කටයුතු කරන බවය.
කෙසේ නමුත් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු පොදු එකඟතාවක් වෙනුවෙන් ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් දිගටම සාකච්ඡා පැවැත්වීමට තීරණය කෙරුණි. තව දුරටත් එකිනෙකාට තීරු බදු පැනවීමක් සිදු නොකිරීමට ට්රම්ප් සහ ජින්පින් තීරණය කළේය.
මතභේදයට ලක් වී ඇති චීනයේ ‘හුවාවි’ සමාගම සමඟ දිගටම ගනුදෙනු කිරීමට ඇමෙරිකන් සමාගම්වලට අවසර ලබා දෙන බවට ද ජනපති ට්රම්ප් චීන ජනපති ජින්පින්ට පොරොන්දුවක් දුන්නේය. එය හුවාවි සමාගමට ලැබුණු විශාල සහනයක් යැයි එම සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී.)