ඇමෙරිකා - තලේබාන් තවත් සාකච්ඡා වටයක්
වසර 18 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගන් අර්බුදයට විසඳුමක් සෙවීමට, ඇමෙරිකා නියෝජිතයන් සහ තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් දෝහා කටාර්හිදී ආරම්භ විය.
කටාර් හි දෝහා නුවර තලේබාන් සාම කාර්යාලයක් පිහිටුවා තිබේ. ඒ කටාර් රාජ්‍යයේ අනුග්රහයෙනි. සාකච්ඡා පැවැත්වීම සිදුවන්නේ එම කාර්යාලය හරහාය.
පසුගිය කාලය පුරාවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පත් කරනු ලැබූ විශේෂ නියෝජිත කණ්ඩායම සහ තලේබාන් සංවිධානයේ නියෝජිත කණ්ඩායම අතර සාම සාකච්ඡා වට හතක් පැවැත්වුණු අතර, 4 වැනිදා ආරම්භ වූයේ එහි අටවැනි වටයයි.
ඇමෙරිකාව වෙනුවෙන් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත සැල්මේ කලිසාද් ඇතුළු නියෝජිතයන් සාකච්ඡා සඳහා එක් වෙයි. තලේබාන් සංවිධානය වෙනුවෙන් සාකච්ඡා සඳහා එක් වන්නේ තලේබාන් සංවිධානය පිහිටුවීමේ පුරෝගාමියකු වූ මුල්ලා බරාදාර්ය.
තලේබාන් සංවිධානය අංශ දෙකකින් යුක්තය. එක් අංශයක් වන්නේ දේශපාලන අංශයයි. ප්රචණ්ඩ ක්‍රියා කරමින් ත්රස්තවාදීන් ලෙස හැඳින්වෙන්නේ සන්නද්ධ අංශයයි. සාම සාකච්ඡා පැවැත්වීම සිදුවන්නේ දේශපාලන අංශයේ මැදිහත්වීමෙනි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉලක්කය වී ඇත්තේ ලබන සැප්තැම්බර් පළමු වැනිදාට පෙර තලේබාන් සංවිධානය සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීමය. ඇෆ්ගන් ජනාධිපතිවරණය සැප්තැම්බරයේදී පැවැත්වෙයි. එපමණක් නොව, ලබන වසරේ එනම් 2020 දී ඇමෙරිකා ජනාධිපතිවරණය ද පැවැත්වෙයි.
ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමේ ක්‍රියාවලියේදී පාකිස්තානයේ සහාය ද ඇමෙරිකාවට අවශ්‍ය වෙයි. ජනපති ට්‍රම්ප් සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ඒ, ට්‍රම්ප්ගේ ආරාධනාව පරිදි අගමැති ඉම්රාන් ඇමෙරිකාවේ වොෂින්ටන් බලා පැමිණි අවස්ථාවේදීය.
දෝහාහිදීය (රොයිටර්ස්)