අවසර ලැබුණාට ට්‍රම්ප් සතුටින්
මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට තමා යෝජනා කළ දේශසීමා තාප්පය සඳහා අවශ්‍ය ඩොලර් බිලියන 2.5 ක මුදල ලබා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීම තමාගේ සතුටට හේතුවක් බව ජනාධිපති ට්‍රම්ප් කියයි.
ඇමෙරිකා දේශසීමාව ආරක්ෂා කිරීම සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රසංශනීය බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබේ.
දේශසීමාවේ ඉදිකිරීමට යෝජිත මෙම තාප්පය කිලෝ මීටර් 3,000 ක් දිග වනු ඇත. ඇතැම් ස්ථානවල තාප්පයක් ඉදිකිරීමට භූගෝලීය සාධක නොමැති අතර, එම ස්ථානවල තාප්පය වෙනුවට යකඩ වැටක් ඉදිවනු ඇත. තාප්පයේ උස මීටර් 9 සිට 16 තෙක් වනු ඇති බවත් ඒ සඳහා කොන්ක්‍රීට් යොදා ගන්නා බවත් ට්‍රම්ප් පරිපාලනය පවසයි. මේවනවිටත් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාව වෙන් කරමින් වැටක් ඉදිකර ඇත.
තමන් ඉදිකරන තාප්පය වෙනුවෙන් මුදල් එක් රැස්කර ගැනීම මෙක්සිකෝ රජයෙන් සිදු කරනවා යැයි ජනපති ට්‍රම්ප් පවසා තිබුණත්, එය එසේ නොවනු ඇතැයි මෙක්සිකෝ නව ජනාධිපති අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් අවධාරණය කර ඇත. ලෝපේස් සහ ජනපති ට්‍රම්ප් අතරේ යහපත් සබඳතා පවතී.
කෙසේ නමුත් ජනපති ට්‍රම්ප් සහ මෙක්සිකෝවේ හිටපු ජනාධිපති එන්රීක් පෙනා නීටෝ අතර මත ගැටුම් පැවැතිණි. දේශසීමා තාප්පය වෙනුවෙන් මුදල් ලබා ගන්නවා යැයි ට්‍රම්ප් කීවේ, පෙනා නීටෝගේ රජයෙනි.
තාප්පය ඉදිකිරීමට අවශ්‍ය ඩොලර් බිලියන 2.5 ක මුදල ලබා දීම සිදුවනු ඇත්තේ, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ ප්‍රතිපාදනවලිනි.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)