අපි පහර දෙන්නේ නෑ: ට්‍රම්ප් ඇමෙරිකාව විනාශ කරාවි - අයි.එස්. ත්‍රස්තයෝ කියති



(අන්තර්ජාල පුවත් සේවා)
ඇමෙරිකාවට පහරදීමට තමන්ට අවශ්‍ය වන්නේ නැති බවත්, ඇමෙරිකාව විනාශය කරා ගෙනයෑම ජනපති ධුරයට පත්වීමට නියමිත, කිසිදු දේශපාලන දැනුමක් නැති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් සිදුකරනු ඇති බවත් සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයෝ පවසති.
‘දනේෂ්’ යන නමින් ද තමන් හඳුන්වා ගන්නා මෙම ත්‍රස්ත සංවිධානය මේ බව පැවැසුවේ ඔවුන්ට හිතවත් වෙබ් අඩවි හරහා විශේෂ ප්‍රකාශ කිහිපයක් නිකුත් කරමිනි. ත්‍රස්තයෝ, ට්‍රම්ප් ‘බූරුවෙකු’ සහ ‘මෝඩයකු’ යනුවෙන් ද හඳුන්වා දී ඇත.
ඇමෙරිකාව වළපල්ලට ඇද දැමීම තමන්ට අසීරු වුණත්, එම කාර්යය ට්‍රම්ප් විසින් සිදුකරනු ඇති බව පෙන්වා දෙමින්, ඒ වෙනුවෙන් ට්‍රම්ප් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතීමට පවා අයි.එස්. ත්‍රස්තයෝ අමතක නොකළාහ.
මීට අමතරව, අල් කයිඩා සංවිධානය ද ට්‍රම්ප් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබ පැතුම් යවා ඇත. අල් කයිඩාව පවසා ඇත්තේ මත ගැටුම් නිසා බෙදී වෙන්වී සිටින ඉස්ලාමීය අන්තවාදී සංවිධාන සියල්ල එක් කිරීමට ට්‍රම්ප් ගන්නා තීන්දු සහ තීරණ හේතුවක් වනු ඇති බවත්ය.
මත ගැටුම් හේතුවෙන් අල් කයිඩාව සහ අයි.එස්.අයි.එස්. සංවිධාන අතරේ විරසකයක් පවතී. මොවුන් දෙගොල්ලන් එක්වුවහොත්, එය ලෝකයට ප්‍රබල තර්ජනයක් වනු ඇත.
ජනපතිවරණ රැලිවලදීත්, විවාදවලදීත් ට්‍රම්ප් දිගින් දිගටම මුස්ලිම්වරුන් විවේචනය කළේය. මෙය අල් කයිඩා සහ අයි.එස්.අයි.එස්. සංවිධානවල ද දැඩි විවේචනයට හේතුවක් විය.
තමන් ජනාධිපති වුවහොත් පළමුවෙන්ම රුසියාව සමඟ එක් වී, සිරියාවේ අයි.එස්.අයි.එස්. සංවිධානය මුලිනුපුටා දමා ඉන්පසු, සිරියාවේ සාමය ස්ථාපිත කරන බව ට්‍රම්ප් පවසා ඇත. අයි.එස්.අයි.එස්. සංවිධානයට කිසිදු සමාවක් නොමැති බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබේ.


RECOMMEND POSTS