2016 නොබෙල් සාම ත්‍යාගය කොලොම්බියා ජනපති සැන්ටෝස්ට
කොලොම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් අතරේ වසර 50 ක් පුරා පැවැති යුද ගැටුම් අවසන් කර, සාමය උදා කිරීමට වෙහෙසන කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙන බව නොබෙල් කමිටුව ස්විඩනයේ ස්ටොක්හෝම් නුවරදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.
මෙවර නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන්, පුද්ගලයන් සහ සංවිධාන 376 දෙනකුගේ නම් ඉදිරිපත් වී තිබුණු බව ද වාර්තා වේ. මේ වසර සඳහා නොබෙල් ත්‍යාගලාභීන්ගේ නම් සියල්ල මේ වනවිට ප්‍රකාශ කර අවසන් අතර, ඔවුන්ට සම්මාන ප්රදානය සිදු කෙරෙනු ඇත්තේ එළැඹෙන දෙසැම්බර් 10 වැනිදාය.
කොලොම්බියා රජය සහ ‘ෆාර්ක්’ ගරිල්ලන් අතර මේ වනවිට සටන් විරාමයක් පවතී. එම සටන් විරාමය ඇති කර ගැනීමට මැදිහත් වී කටයුතු කළේ ජනපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්ය.
සටන් විරාමයෙන් පසු, සාම ගිවිසුමක් ජනපති සැන්ටෝස්ගේ රජය සහ ගරිල්ලා නියෝජිතයන් අතර ඇති කර ගැනීමට නියමිතව තිබුණි. ඒ සම්බන්ධයෙන් ජනපතිවරයා පසුගිය දෙවැනිදා ජනමත විමසුමක් පැවැත්විණි. එම ජනමත විමසුමෙන් තහවුරු වූයේ කොලොම්බියාවේ බහුතරය එම සාම ගිවිසුමට විරෝධය දක්වමින් ඡන්දය ලබා දී ඇති බවය.
කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් සහ ‘ෆාර්ක්’ නායක ටිමෝලියෝන් හිමේනේස් මීට මාසයකට පෙර සාම ගිවිසුම වෙනුවෙන් අත්සන් තැබූහ. එසේ අත්සන් තැබුණේ වසර හතරක් පුරා පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. දෙපාර්ශ්වය අතරේ පැවැති සාකච්ඡා සඳහා මැදහත්කරු වූයේ කියුබාවය. සාකච්ඡා පැවැත් වූයේ ද කියුබාවේ හවානා නුවරදීය.
සාකච්ඡා කර ගත් පසු සටන් විරාමයෙන් අනතුරුන සාම ගිවිසුම ක්‍රියාත්මක වීමට නම් කොලොම්බිය වැසියන් ඊට අනුමැතිය ලබා දිය යුතුය. ජනමත විමසුම පැවැත් වූයේ ඒ අනුවය. ජනතා තීන්දුව ගැන තමන් දැඩි ලෙස කනගාටුවට පත් වුණු බවත්, සාමය සඳහා යන ගමනේ දී පළිගැනීමේ චේතනාව පසෙකලා සමාව දීම කළ යුතු බවත් එම අවස්ථාවේදී ජාතිය අමතමින් ජනපති සැන්ටෝස් පවසා තිබුණි.
තමන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි වුණු බව ආරංචි වුණු අවස්ථාවේදී ජනපති සැන්ටෝස් මාධ්‍ය හමුවේ කියා සිටියේ සංශෝධන ඉදිරිපත් කරමින් සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවය.
‘කොලොම්බියානු විප්ලවීය හමුදාව’ හෙවත් ෆාර්ක් ගරිල්ලන් ලෙස අසාධාරණවට ලක් වුණු සිවිල් වැසියන් වෙනුවෙන් දක්ෂිණාංශික මතධාරී දේශපාලන කණ්ඩායම් අවි අතට ගෙන රජයට එරෙහිව සටන් ආරම්භ කළේ 1964 වසරේ සිටය. ෆාර්ක් සංවිධානය බිහිවූයේ කොලොම්බියානු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ එකමුතුවෙනි.
මොවුන් ක්‍රියාත්මක වූයේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාවේ වයඹදිග පළාත් කේන්ද්‍රකොට ගනිමිනි. මොවුහු රජයේ නිලධාරීන්, හමුදා නිලධාරීන් ව්‍යාපාරිකයන් පැහැරගෙන කප්පන් ගැනීම් ද සිදු කළහ. ගරිල්ලන් සහ රජයේ හමුදා අතරේ පැවැති ගැටුම් හේතුවෙන් දස දහස් ගණනින් කොලොම්බියා වැසියෝ ජීවිතක්ෂයට පත් වූහ.
මෙම ගරිල්ලෝ තම සංවිධානයේ කටයුතු සඳහා මුදල් රැස් කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම් ද කළහ. 2013 වසර වෙද්දී 10,000 ක කැරැලිකරුවෝ පිරිසක් මෙම සංවිධානය සමඟ එක් වී සිටියහ. මොවුහු ඇමෙරිකාවට හිතවත් කොලොම්බියා රාජ්‍ය තම සතුරන් ලෙස සැලැකූහ.