සියවසක් තිස්සේ නොනවතින ගුවන් ගමන
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ඔස්ට්‍රේලියාව දක්වා පළමු ගුවන් ගමන ක්‍රියාත්මක වී අද(15) දිනට සියවසක් සපිරෙයි.
එම ඓතිහාසික ගුවන් ගමන සිහිපත් කරමින් ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවයට අයත් යානයක් දීර්ඝ පියාසැරියකින් අනතුරුව ලන්ඩන් නුවරට ළඟා විය.
අතරමඟ නොනැවතෙන (Non-stop) දීර්ඝතම වාණිජ මගී ගුවන් ගමන් පරීක්ෂාවක් ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය විසින් සම්පූර්ණ කරනු ලැබ තිබේ.පුද්ගලයන් 50 රැගත් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානය ලන්ඩන් නුවර සිට සිඩ්නි දක්වා පියාසර කිරීමට පැය 20කට ආසන්න කාලයක් ගතවිය.
යානය ගමනාන්තයට ළඟා වුණේ ලන්ඩන් නුවර සිට ඔස්ට්‍රේලියාව දක්වා පළමු ගුවන් ගමන ක්‍රියාත්මක වී සියවසක් සපිරෙන දිනයේදී වීම විශේෂත්වයක්.
එවක එම යානය ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නගරය වෙත ළඟා වුණේ දින 28ක් පියාසර කිරීමෙන් අනතුරුවයි.ක්වන්ටාස් ගුවන් සමාගම පසුගිය මසදී නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා අතරමඟ නොනැවතෙන ගුවන් ගමනක්ද පරීක්ෂා කළේය.
අදාළ ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කරන කාලය 2019 වසරේ අග තීන්දු කිරීමට 'ක්වොන්ටස්' ගුවන් සමාගම බලාපොරොත්තු වෙයි.එම සැලසුම ඉදිරියට ගියහොත් 2022 හෝ 2023 වසරවලදී ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇති.
සම්පූර්ණ මගීන් සහ භාණ්ඩ තොගයක් රැගෙන මෙතරම් අතිශය දීර්ඝ ගමනක යෙදීම මේ දක්වා කිසිඳු වාණිජ ගුවන් යානයක පරාසයේ නොමැති බව රොයිටර්ස් පුවත් ඒජන්සිය වාර්තා කළේය.
විවිධ ගුවන් සමාගම් දිගු ගුවන් ගමන්වල යෙදීමත් සමග සාමාන්‍ය පරාසයෙන් ඔබ්බට ගිය අතිශය දීර්ඝ ගුවන් ගමන් සඳහා වන වෙළෙඳපොළ තරගකාරීත්වය මෑත වසරවලදී ඉහළ ගොස් තිබේ.
සිංගප්පූරු ගුවන් සමාගම පසුගිය වසරේදී සිංගප්පූරුවේ සිට නිව්යෝක් දක්වා පැය 19 ආසන්න ගුවන් ගමනක් ආරම්භ කළේය.
එය දැනට ලොව ක්‍රියාත්මක දීර්ඝතම දෛනික වාණිජ ගුවන් ගමනයි.
එමෙන්ම ක්වන්ටාස් ගුවන් සේවය පර්ත් සිට ලන්ඩන් දක්වා පැය 17 ක සෘජු ගුවන් ගමනක් ආරම්භ කළේය.
මේ අතර කටාර් ගුවන් සේවය නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට දෝහා දක්වා පැය 17 හමාරක ගුවන් ගමනක් ක්‍රියාත්මක කරයි.