සහයෝගයෙන් වැඩ කරන්න රුසියාව සූදානම්



උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රුසියාව සූදානම් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

නේටෝ යනු බටහිර රටවල එකමුතුවෙන් සැඳුම්ලත් හමුදාමය සංවිධානයකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, නේටෝ සංවිධානය පිහිටුවීම සිදුවූයේ සෝවියට් රුසියාවෙන් එල්ල වූ තර්ජනවලට එරෙහි බටහිර රටවල එකමුතුවක් ලෙසය.

නේටෝ සංවිධානය පිහිටුවා වසර 70 ක් සපිරෙන අතර, ඒ නිමිත්තෙන් විශේෂ ආරක්ෂක සමුළුවක් බටහිර රටවල ලෝක නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මහා බ්‍රිතාන්‍යයේ වොට්ෆෝර්ඞ් පැවැත්වෙයි.

කළු මුහුද ආශ්‍රිත නිවාඩු නිකේතනයක රැඳී සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියන් මාධ්‍ය වෙත අදහස් පළ කළේ, බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන එම නේටෝ ආරක්ෂක සමුළුවට සමගාමීවය.

ජාත්‍යන්තරයට තර්ජනයක් වූ ත්‍රස්තවාදය පිටුදැකීමටත්, මහා විනාශයක් කළ හැකි ආකාරයේ විනාශ අවි එක් රැස් කර ගැනීම් සම්බන්ධයෙන් සීමා මායිම් ඇති කිරීමටත් නේටෝව සමඟ අත්වැල් බැඳ ගැනීමට රුසියාව සූදානම් යැයි ජනපති පුටින් පැවැසීය.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ ව පිහිටුවීම සිදුවූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, 1949 වසරේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදීය. ඒ සෝවියට් සමූහාණ්ඩුවෙන් එල්ලවූ තර්ජන පිටුදැකීමටය. උතුරු ඇමෙරිකා සහ යුරෝපා රටවල් 29 ක් නේටෝ සංවිධානයට අයත් වෙයි. නේටෝ සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරය.

නේටෝව හමුදා සහයෝගීතා සංවිධානයකි. අද වනවිට සාමාජික රටවල් 29 කින් සමන්විත වුවත්, නේටෝවේ ආරම්භක සාමාජිකයන් වන්නේ බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, අයිස්ලන්තය, ඉතාලිය, ලුක්සන්බර්ග්, නෝර්වේ, පෘතුගාලය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS