රුසියාවට සම්බාධක පනවන්න: ඇමෙරිකා සෙනට්වරු කියති
වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද මැතිවරණය හැකර් ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට ලක් වී සිටින රුසියාවට එරෙහිව සම්බාධක පැනවිය විය යුතු බව ඇමෙරිකා සෙනට් මණ්ඩලය ප්‍රධාන සෙනට්වරු තිදෙනෙක් පවසති.
එම යෝජනාවට පක්ෂ භේදයකින් තොරව සහාය හිමිවන බව එම සෙනට්වරු පැවැසූහ. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීම සඳහා රුසියාව මැදිහත් වූ බව බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් ඇමෙරිකා පුවත් සේවා පසුගිය කාලයේ වාර්තා කළේය.
ඇමෙරිකා ජනාධිපතිවරණයට රුසියාව හැකර් ප්‍රහාරයක් එල්ල කළ බවට පැවැසෙන වාර්තා සම්බන්ධයෙන් පියවර ගන්නා බවද එපමණක් නොව රුසියාවට එරෙහිවද පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා මීට පෙර පවසා තිබිණි.
“අපි පියවර ගත යුතුයි. අපි පියවර ගන්නවා” යැයි එන්.පී.ආර් පුවත් සේවය හා එක්වෙමින් බැරැක් ඔබාමා කීවේය.
ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ සහ එම පක්ෂයේ විද්‍යුත් ලිපිනවලට (ඊ මේල්) හැකර් ප්‍රහාර එල්ල කළ බවට රුසියාවට චෝදනා එල්ල වී ඇති අතර රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම ජනාධිපතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂයේ මැතිවරණ ප්රචාරක අංශය මෙහෙය වූ ජෝන් පොඩෙස්ටාගේ ඊ මේල් පණිවිඩවලට ද හැකර් ප්‍රහාර එල්ල වී තිබූ බව ඇමෙරිකා පුවත් සේවා වාර්තා කර තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩොනල්ඞ් ට්‍රම්ප් දිනවීමට රුසියාව උපකාර කළ බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් ඩොනල්ඞ් ට්‍රම්ප් ෆොක්ස් රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
ඩොනල්ඞ් ට්‍රම්ප් දිනවීමට හැකර්කරුවන් කටයුතු කළ බවත් එම හැකර්කරුවන් රුසියානු රජයට සම්බන්ධ පිරිස් යැයි තොරතුරු අනාවරණය වී ඇති බවත් ඇමෙරිකා බුද්ධි අංශ උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා පසුගිය කාලය මුළුල්ලේ නිරන්තරයෙන් වාර්තා කළේය.
රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් හැකර් ප්‍රහාරවලට සෘජුවම සම්බන්ධ වූ බව එන්.බී.සී පුවත් සේවය ධවල මන්දිර ප්‍රකාශයකු උපුටා දක්වමින් දෙසැම්බර් මාසය ආරම්භයේදී වාර්තා කර තිබිණි.
ඇමෙරිකාව සම්බාධක පනවමින් විරුද්ධවාදී ක්‍රියාමාර්ග ගතහොත් ඊට පිළිතුරු දෙන බව ඇමෙරිකා සෙනට්වරුන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියා විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා ෂකරෝවා පැවැසුවාය.
රුසියාවට එරෙහිව පනවන සම්බාධකවලට ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික සම්බාධක ඇතුළත් විය හැකි බව පැවසේ.
රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමේ යෝජනාවට මේ වනවිට එරට ඩිමොක්රටික් පක්ෂයේ මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ බොහෝ පිරිසක් තම එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වේ. රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට රිපබ්ලිකන් පක්ෂයේ ජෝන් මැකේන් සහ ලින්ඞ්සේ ග්රැහැම් සහ ඩිමොක්රටික් පක්ෂයේ ඇමි ක්ලෝබුචර් දැනටමත් සිය කැමැත්ත පළකර ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කර තිබිණි. ඔවුන් තිදෙනා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ රුසියානු බටහිර දේශසීමාව ආසන්නයේ පිහිටි එස්තෝනියාව, ලැට්වියා සහ ලිතුඒනියා යන රටවල සංචාරයක නිරත වෙමිනි. එම රටවල් ත්‍රිත්වය නේටෝ සංවිධානයේ සාමාජික රටවල්ය.
“සෙනට්වරුන්ගෙන් සියයට 99ක් රුසියාවට එරෙහිව සම්බාධක පනවනවාට කැමැතියි. ඒ නිසා අපට යමක් කරන්න පුළුවන්. රුසියාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. රුසියානු ජනාධිපති පුටින්ට එරෙහිව ද පියවර ගන්නවා” යැයි ලින්ඞ්සේ ග්රැහැම් සී.එන්.එන් පුවත් සේවයට පවසා තිබිණි.
“රුසියාව ප්රජාතන්ත්රවාදයට බාධාවක්. ඔවුන් ලොව ප්රජාතන්ත්රවාදී රටවලට බාධා කරනවා. රුසියාවට එය තේරුම් කළ යුතුයි. එය අවසන් කළ යුතුයි” යැයි ලින්ඞ්සේ තවදුරටත් කීවේය.
කෙසේ වෙතත් යුරෝපා සංගමය තවදුරටත් රුසියාවට පැනවූ සම්බාධක ක්‍රියාත්මක කරයි. වසර 2014 දී ක්රිමියානු අර්ධද්වීපය අත්පත් කරගැනීම හේතුවෙන් යුරෝපා සංගමය රුසියාවට සම්බාධක පැනවීය. යුක්රේනයේ රුසියානු හිතවාදී කැරැලිකරුවන්ට ආයුද හිමිවීම වැළැක්වීම සඳහා යුරෝපා සංගමය එම පියවර ගත්තේය. එම සම්බාධක හේතුවෙන් රුසියානු ආර්ථිකයටත් එරට බැංකු පද්ධතියටත් සැලකිය යුතු බලපෑමක් විය.