රාහුල්-මෝදි හමුවක්
(එන්.ඩී.ටීවී.)
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතරේ විශේෂ හමුවක් ඊයේ (17) නවදිල්ලියේදී පැවැත්විණි.
එම හමුවට, රාහුල්ට අමතරව කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ද එක් වූහ.
ඉන්දීය අගමැති මෝදි ප්රමුඛ රජය මේ වනවිට ජනතාවගේ අප්‍රසාදයට පත් වී සිටී. ඒ, මුදල් විශුද්ධිකරණය පියවරක් ලෙස රුපියල් 500 සහ 1,000 මුදල් නෝට්ටු අවලංගු කිරීමට අගමැති මෝදි ගත් තීරණය හේතුවෙනි. මෙම තීරණය හේතුවෙන් ප්‍රාන්ත රැසක ගොවීහු දැඩි අපහසුතාවකට ලක් වී සිටිති.
රාහුල් ගාන්ධි සහ මෝදි අතර හමුව පැවැත්වූයේ එම ගොවීන් සම්බන්ධයෙනි. ඉන්දීය ගොවීන් ද පෙරටු කර ගනිමින් කොංග්රස් පක්ෂය මෝදි සහ රජයට එරෙහිව දැවැන්ත විරෝධතා රැලි පැවැත්වීමට ද සූදානම් බව රාහුල් එම අවස්ථාවේදී මෝදිට පැවැසූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
අගමැති මෝදිගේ දූෂණ ක්‍රියාකාරකම් ගැන තමන්ට ඔප්පු කළ හැකි තොරතුරු රැසක් තමා සතුව ඇතැයි ඉන්දීය රාහුල් ගාන්ධි ඉකුත් සතියේ පවසා තිබුණි.
රාහුල් ගාන්ධි කළ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඉන්දීය මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබීමත් සමඟ රට පුරා මහත් ආන්දෝලනයක් හටගත්තේය.රාහුල් කළ මෙම ප්‍රකාශයට මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල විය. ඔවුන් රාහුල්ට අභියෝග කර ඇත්තේ එම දූෂණ ක්‍රියා වහා ඔප්පු කරන ලෙසටය. එසේ නැතිනම් වහා මෝදිගෙන් සමාව ගන්නැයි ද භාරතීය ජනතා පක්ෂය පවසා තිබේ.