යුද අභ්‍යාසවලට විරෝධය



ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර පැවැත්වීමට සැලසුම් කර තිබෙන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට විරෝධය පළ කිරීමක් ලෙස උතුරු කොරියාව පසුගිය දා (25) කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බැලීය.

ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පසුගිය වසරේදී ආරම්භ වූ න්‍යෂ්ටික සාකච්ඡා අතරමගදී නැවතුණි. නැවැතුණු එම සාකච්ඡා ආරම්භ කිරීමට දෙපාර්ශවයම උනන්දු වූ බවක් දක්නට ලැබුණු නමුදු උතුරු කොරියාව අද මෙලෙස කෙටිදුර මිසයිල දෙකක් අත්හදා බැලීම නිසා තත්ත්වය තවත් සංකීර්ණ වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පසුගිය මාසයේදී පැවැති සාකච්ඡාවලින් පසුව උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් කළ පළමු අවස්ථාව මෙය වේ. නායකයන් දෙදෙනා අතර පැවැති එම සාකච්ඡාවලදී න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ක්‍රියාකාරී මට්ටමේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා එකඟතාවක් ඇති කරගන්නා ලදි.

එම සාකච්ඡා තවමත් ආරම්භ වී නොමැති අතර ලබන මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ඇමෙරිකා-දකුණු කොරියානු ඒකාබද්ධ යුද අභ්‍යාස සාකච්ඡා පැවැත්වීමට බාධාවක් යැයි උතුරු කොරියාව අනතුරු අඟවා ඇත.

උතුරු කොරියාව අත්හදා බැලූ එක් මිසයිලයක් කිලෝමීටර 430ක දුරක් ගමන් කර තිබෙන අතර අනෙක් මිසයිලය කිලෝමීටර 690ක් ගමන් කර තිබේ. දකුණු කොරියානු බලධාරීන්ට අනුව උතුරු කොරියාව අත්හදා බැලූ මෙම කෙටිදුර මිසයිල දෙකම නව වර්ගයක මිසයිල යැයි පැවසේ. 

ඒ.එෆ්.පී. ඇසුරිනි   


RECOMMEND POSTS