මුහුදට වැටුණු යානයේ සිටි මගීන් සොයා රුසියාව දැවන්ත මෙහෙයුමක්
මොස්කව්හිදීය (රොයිටර්)
සිරියාව බලා පියාසර කරමින් තිබියදී කළු මුහුදට වැටුණු යානයේ සිටි මගීන් සොයා රුසියාව දැවන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් පුවත් සේවා අද (26) වාර්තා කළේය.
මෙලෙස කඩා වැටුණේ මගීන් 92 දෙනකු සමඟ සිරියාව බලා පියාසර කරමින් තිබූ රුසියානු හමුදා යානයකි. මේ වනවිටත් රුසියාව මළ සිරුරු සහ යානයේ කළු පෙට්ටිය සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති අතර ඒ සඳහ 3,500කට ආසන්න පිරිසක් එක්ව සිටිති. මෙහෙයුමට නෞකා, හෙලිකොප්ටර්, ජෙට් හා ජලය තුළ ගමන් කළ කුඩා යාත්‍රා (සබ්මර්සිබල්ස්) එක්කර ඇත. සෝචි ආසන්නයේ මෙම මෙහෙයුම් දියත් කෙරේ.
අනතුරට පත්වූයේ ටීයූ - 154 වර්ගයේ යානයකි. රුසියානු හමුදාවේ වාද්‍ය වෘන්දය මෙසේ සිරියාව වෙත ගමන් කරමින් සිටි අතර යානයේ සිටි සියලු දෙනාම මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ අතර රුසියාව සඳුඳා (26) දිනය ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට ද පියවර ගත්තේය.
මෙම දැවැන්ත මෙහෙයුම සඳහා කිමිදුම්කරුවන් 139 දෙනකු සහභාගී වී සිටින අතර මෙම මෙහෙයුම මිනිත්තුවකට හෝ නතර නොකරන බව රුසියානු ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් පැවැසීය.
මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු මළසිරුරු 11ක් සහ යානයේ කොටස් 154ක් හමු වූ බව ද ඔහු කීවේය. වර්ග කිලෝමීටර 10.5ක ප්‍රමාණයක මෙහෙයුම දියත් කළ අතර එය තවදුරටත් ව්‍යාප්ත කරන බව ද රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
සිරියාව බලා පියාසර කරමින් තිබුණු රුසියානු හමුදා යානය එක්වරම රේඩාර් තිරයෙන් අතුරුදන් විය. රුසියානු රජය මේ වනවිටත් යානය කඩා වැටීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
යානයේ ගමන් කළ මගීන් අතර රුසියානු හමුදාවේත් ආරක්ෂක අමාත්‍යාංශයේත් නිලධාරීන් සිටි බව ද වාර්තා විය.
යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වෙද්දී කළු මුහුදට ඉහළින් පියාසර තර තිබුණැයි ද වාර්තා වේ.
යානය රුසියාවේ සෝචි නුවරින් පිටත් වී ඇති අතර, එය සිරියාවේ ලටාකියා පළාත බලා පියාසර කිරීමට නියමිතව තිබුණු බව ද රුසියානු රජයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.