මාලදිවයින හිටපු උප ජනපති අත්අඩංගුවට
දේශපාලන රැකවරණ ඉල්ලමින්, බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගිය මාලදිවයිනේ හිටපු උප ජනාධිපති අහ්මද් අඩීබ් ඉන්දීය රජයේ සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව මාලදිවයින පොලිසිය කියා සිටියේය.
හිටපු උප ජනාධිපති අහ්මද් අඩීබ් අත්අඩංගුවට ගත් බවත් ඔහු යළි මාලේ අගනුවරට රැගෙන ආ බවත් මාලදිවයින පොලිසිය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.
37 හැවිරිදි අහ්මද් අඩීබ්ට ඉන්දියාවට පලා ගියේ පසුගිය සිකුරාදා (2) ය. ඒ, මාලදිවයින ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රටින් පිටවීම තහනම් කර තිබියදීය. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමට නියමිතය.
අහ්මද් අඩීබ් තරයේ පවසා ඇත්තේ තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය බවත්, තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු අයකු බවත්ය. ජනපති ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ වීම, මුදල් විශුද්ධිකරණය සහ දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් අහ්මද් අඩීබ් චෝදනා ලැබ සිටී. ඔහු වසර තුනක් බන්ධනාගාරගතව සිටියේය.
අහ්මද් අඩීබ් පවුලේ අය සහ තවත් සරණාගතයන් පිරිසක් සමඟ තමිල්නාඩුවේ තූත්තුකුඩි බලා පැමිණි බව ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් තහවුරු කළේය. අඩීබ් නීතිවිරෝධී ආකාරයෙන් ඉන්දියාවට පැමිණ ඇති හෙයින්, ඔහුට දේශපලාන රැකවරණ දීම පිළිබඳ ගැටලුවක් බව එම අවස්ථාවේදී ඉන්දීය රජය පැවැසීය.
2015 වසරේ, මාලදිවයින දූපත් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ අබ්දුල්ලා යමීන් ය. යමීන් ජනපති ධුරයට පත් වෙද්දී, උප ජනාධිපති ධුරය හෙබවූයේ අහ්මද් අඩීබ් ය. උප ජනපති ධුරයට පත් වෙද්දී, අඩීබ්ගේ වයස අවුරුදු 33 කි. එම ධුරයට පත් ළාබාලතම තැනැත්තා වූයේ ඔහුය.
ජනපති අබ්දුල්ලා යමීන්, කුඩා බෝට්ටවකින් යද්දී, එහි පිපිරීමක් සිදුවිය. එය ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමක් බවත්, ඒ පසුපස අඩීබ් සිටින බවටත් චෝදනා එල්ල විය. බෝට්ටුවේ සිදුවුණු පිපිරීමෙන් අබ්දුල්ලා යමීන් දිවි ගලවා ගත් නමුත්, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනක් තුවාල ලැබූහ.
මාලේහිදීය (රොයිටර්ස්)