පුටින් හමුවන්න රුසියාවට යනවා



රුසියානු ජනාධිපති හමුවීමට තමන් රුසියාව බලා යෑමට නායක කිම් ජොන් උන් තීරණය කළ බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය වනු ඇත.

උතුරු කොරියා නායකයා රුසියාව බලා යනු ඇත්තේ කවදාදැයි මෙතෙක් අනාවරණය කර නැත. කෙසේ නමුත් ඉදිරි සති දෙක ඇතුළත මෙම හමුව සිදුවුනු ඇතැයි පැවැසෙයි. හමුව පැවැත්වෙනු ඇතැයි පැවැසෙන්නේ රුසියාවේ නැගෙනහිර දෙසින් පිහිටි ව්ලැදිවොස්ටෝක් නගරයේය.

ගුවනින් යෑමට අකමැත්තක් දක්වන කිම් ජොන් උන් රුසියාව බලා යනු ඇත්තේ ද ඔහුගේ විශේෂ දුම්රියෙනි.

පසුගිය පෙබරවාරියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර දෙවැනි හමුව පැවැත්විණි. ඒ, වියට්නාමයේ හැනොයි නුවරදීය.  කිම් ජොන් උන් සහ උතුරු කොරියා නියෝජිතයන් හැනොයි බලා ගියේ ද එම විශේෂ දුම්රියෙනි. නායක කිම් ජොන් උන් සහ ට්‍රම්ප් හමුවුණු දෙවැනි අවස්ථාව මෙය විය.
ට්‍රම්ප් සහ කිම් මෙසේ හමුවුණේ සාමයට කැපවෙමින් න්‍යෂ්ටික අවිහරණයක් සිදු කරන බවට නායක කිම් කැමැති වී සිටින බැවිනි.  කෙසේ නමුත් හැනොයි පැවැති හමුව අසාර්ථක විය. ඒ, පැවැති මත ගැටුම් හේතුවෙනි.

උතුරු කොරියා නායකයා රුසියාවට ගොස් රුසියානු ජනාධිපති හමුවීමට සූදානම් වෙන්නේ ද න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. උතුරු කොරියාව පවසන්නේ තමන් න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කර ඇති බැවින්, ඇමෙරිකාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පනවා ඇති සම්බාධක ලිහිල් කළ යුතු බවටය. ඇමෙරිකාව පවසා ඇත්තේ, තමන් අපේක්ෂා කරන අයුරින් න්‍යෂ්ටික අවිහරණයක් සිදු නොවන බැවින්, සම්බාධක ඉවත් කිරීම නොකළ යුතුයි කියාය.

සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ පටන් උතුරු කොරියාව රුසියාව සමඟ යහපත් සබඳතා පවත්වයි. රුසියානු ජනාධිපති පුටින් සහ නායක කිම් ජොන් උන් අතරේ ද පවතින්නේ සමීප මිත්‍රත්වයකි. චීනයට පසු උතුරු කොරියාව සමඟ සමීප සබඳතා පවත්වන ලොව ප්‍රබල රාජ්‍යයක් වන්නේ රුසියාවය. ජාත්‍යන්තර සම්බාධක මැද රුසියාව උතුරු කොරියාවට බඩු බාහිරාදිය ලබා දෙනවා යැයි නිරන්තරයෙන් චෝදනා එල්ල විය.

සම්බාධක හේතුවන් සහ ජාත්‍යන්තරයෙන් එල්ල වන තර්ජන හමුවේ උතුරු කොරියා නායකයා විදෙස් සංචාරවල නියැලෙන්නේ නැත. කෙසේ නමුත් ලෝකයට විවෘත වීමෙන් පසු, කිම් ජොන් උන් අසල්වැසි දකුණු කොරියාවටත් චීනයටත් අවස්ථා කිහිපයකදී ගියේය. ට්‍රම්ප් හමුවීමට වියට්නාමයට ද ගියේය. දැන් රුසියාවට යෑමට කිම් ජොන් උන් සූදානමින් සිටින බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

යොංග්යැංග්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS