නවසීලන්තයේ නව අගමැති බිල් ඉංග්ලිෂ්
(රොයිටර්)
නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස බිල් ඉංගිලිෂ් ඊයේ (12) දිවුරුම් දුන්නේය. බිල් ඉංගිලිෂ් නවසීලන්ත අගමැතිධුරයට පත්වූයේ හිටපු අගමැති ජෝන් කීගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පසුවය.
බිල් ඉංගිලිෂ් පාලක ජාතික පක්ෂයේ මුදල් අමාත්‍යවරයා ලෙසත් නියෝජ්‍ය අගමැතිවරයා ලෙසත් කටයුතු කරමින් සිටියේය. ඔහු දිවුරුමු දුන්නේ ආණ්ඩුකාර නිල නිවසේදීය.
ඒ අනුව සමාජ කටයුතු හා නිවාස ඇමතිනි පෝල් බෙනට් නියෝජ්‍ය අගමැතිවරිය ලෙස තේරී පත්වූයාය. ජාතික පක්ෂ රැස්වීමකින් අනතුරුව අගමැතිධුරයට හා නියෝජ්‍ය අගමැතිධුරයට කවුරුන් පත් කරන්නේ ද යන්න තීරණය කෙරුණි.
අගමැතිධුරයට පත්වීම සම්බන්ධයෙන් තමා පුදුමයට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් නිහතමානී සතුටක් තිබෙන බවත් බිල් ඉංගිලිෂ් ප්‍රකාශ කළේය.
අදහස්වලින් පිරුණු පිරිසක් සමඟ තමා ඉදිරියට ගමන් කරන බවත් පෝල් බෙනට් නියෝජ්‍ය අගමැතිධුරයට වඩාත් සුදුසු යැයි ද අගමැතිධුරයට පත්වීමෙන් අනතුරුව බිල් ඉංගිලිෂ් පැවැසීය.
බිල් ඉංගිලිෂ් සහ පෝලා බෙනට් අගමැතිධුරයට හා නියෝජ්‍ය අගමැතිධුරයට වඩාත් සුදුසුකම් සහිත දෙදෙනා යැයි ද ඔවුන් දෙදෙනා නවසීලන්තය වෙනුවෙන් ඔවුන්ගේ උපරිම දායකත්වය දෙනු ඇතැයි ද නවසීලන්ත ජාතික පක්ෂ සභාපති පීටර් ගුඞ්ෆෙලොව් කීය.
බිල් ඉංගිලිෂ් නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1990 වසරේදීය. එතැනි පටන් ඔහු අධ්‍යාපන, සෞඛ්‍ය හා මුදල් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක්ම හෙබවීය.
අගමැතිධුරයෙන් ඉවත් වීමට තමා ගත් තීරණය මෙතෙක් ගත් තීරණවලින් දුෂ්කර තීරණයක් යැයි ජෝන් කී පැවැසීය. ඔහු සිව්වැනි වරටත් ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් නොවන බව ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙමින් පැවැසීය. ඔහුගේ ඉල්ලා අස්වීම නවසීලන්තයට වැසියන්ට පුදුමයට කරුණක් වූ අතර විදෙස් මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට ද වාර්තා විය. පවුල හා සම්බන්ධ හේතු කිහිපයක් නිසාවෙන් ජෝන් කී එලෙස අගමැතිධුරයෙන් ඉල්ලා අස්විය.
අට වසරක් නවසීලන්තයේ අගමැති ධුරය හෙබවූ ජෝන් කී ඉන් ඉල්ලා අස්වූයේ දෙසැම්බර් 5 වැනිදාය. ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟ නවසීලන්ත අගමැති ධුරය සඳහා තුන්කොන් සටනක් ආරම්භ විය.
ජෝන් කීගේ සමුගැනීමත් සමඟ නියෝජ්‍ය අගමැති ධුරයේ කටයුතු කරන බිල් ඉංග්ලිෂ් අගමැති ධුරයට පත් වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය විය. කී මෙන්ම බිල් ඉංග්ලිෂ් ද නවසීලන්ත වැසියන්ගේ ප්‍රසාදය දිනා ගත් දේශපාලනඥයෙකි.
බිල් ඉංග්ලිෂ්ට අභියෝග එල්ල වූයේ ජාතික පක්ෂයේ ජොනතක් කෝල්මන් සහ ජූඩිත් කොලින්ස්ගෙනි. ජොනතක් කෝල්මන් සෞඛ්‍ය අමාත්‍යවරයායි. ජූඩිත් කොලින්ස් නීතිය සහ ආරක්ෂක කටයුතු අමාත්‍යවරියයි.
ජෝන් කී පෙරේදා අගමැති ධුරයෙන් සමුගත්තේ අට වසරක් තිස්සේ අගමැති ධුරය හෙබවූවා ඇතැයි පවසමිනි. ජෝන් කී නවසීලන්ත වැසියන්ගේ ආදරයත් ගෞරවයත් දිනා ගත් අගමැතිවරයෙකි. පෞද්ගලික හේතු නිසා තමා අගමැතිධුරයෙන් ඉවත් වන බවද ධුරයෙන් ඉවත් වෙමින් කී පැවැසීය.
ජෝන් කී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2002 වසරේදීය. එයින් සිවු වසරකට පසුව ඔහු නවසීලන්ත ජාතික පක්ෂයේ නායකත්වයට පත්විය. ඒ වනවිට නවසීලන්තයේ පැවැතියේ කම්කරු පක්ෂ පාලනයකි. අගමැති ධුරය හෙබවූයේ හෙලන් ක්ලාර්ක්ය. ජෝන් කී 2008 වසරේදී හෙලන් ක්ලාක් පරාජයට පත්කරමින් අගමැතිධුරයට පත්විය.