තවත් සුළි කුණාටුවක් මොසැම්බික් කලඹයි
පසුගිය මාසයේ ප්රචණ්ඩ සුළි කුණාටුවකින් බැට කෑ අප්‍රිකාවේ මොසැම්බියක් රාජ්‍යය හරහා තවත් ප්රචණ්ඩ සුළි කුණාටුවක් හමා ගියේය.
‘කෙනෙත්’ යන නමින් නම් කළ මෙම සුළි කුණාටුව හමා ගියේ පැයට කිලෝ මීටර් 220 ක වේගයකිනි. පසුගිය මාසයේ කඩා වැදුණු සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පිරිස්, ‘කෙනෙත්’ සුළි කුණාටුව හේතුවෙන් ‘කබලෙන් ලිපට වැටුණා’ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
පසුගිය මැයි මාසයේ මොසැම්බික් රාජ්‍යය පමණක් නොව, අසල්වැසි මාලාවි සහ සිම්බාබ්වේ යන රාජ්‍ය ද ප්‍රබල සුළි කුණාටුවකින් කැලැඹිණි. එම කුණාටුවෙන් මියගිය ගණන 900 ක් බවත් 30,000 ක් අවතැන් වුණු බවත් වාර්තා විය.
එම පළමු සුළි කුණාටුවෙන් විපතට පත්ව, කුසට අහරක් නැතිව දහස් ගණනක් සහන කඳවුරුවල වාසය කරන බව ද පැවැසෙයි. එම කඳවුරුවල තරුණියන්ගෙන් ආහාර වෙනුවෙන් ලිංගික අල්ලස් ලබා ගන්නා බවට ද චෝදනා එල්ල වී තිබේ.
මපුටෝහිදීය (රොයිටර්ස්)