තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතාට හෘදයාබාධයක්
තත්ත්වය බරපතලයි: වෛද්‍යවරු කියති
\ (එන්.ඩී.ටීවී.)
හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් අද (5) හදිසි හදවත් සැත්කමකට භාජන කළ බවත්, ඇගේ තත්ත්වය බරපතල බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
ස්වාසන ආසාදනයක් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ මහ ඇමැතිනී ජයලලිතා චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ඇයට ප්‍රතිකාර දීමට, විශාල මුදලක් වැය කරමින් මහා බි්රතාන්යයෙන් වෛද්‍ය කණ්ඩායමක් ද ලෙන්වීමට ද ඇගේ ‘අන්නා ද්‍රවිධ මුනේත්ර කසාගම්’ පක්ෂය පක්ෂය කටයුතු කළේය.
ජයලලිතාට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පමණක් නොව ඇගේ පක්ෂ සාමාජිකයන් ද පසුගිය සෙනසුරාදා (3) මාධ්‍ය හමුවේ පවසා තිබුණේ මහ ඇමැතිනියගේ සෞඛ්‍ය තත්ත්වය මුළුමනින්ම යහපත් බවත් කැමැති ඕනෑම දිනෙක ඇයට රෝහලෙන් පිටවී යෑමට හැකි බවත්ය.
68 හැවිරිදි මහ ඇමැතිනිය හෘදයාබාධයකට ලක් වූයේත්, සැත්කමකට භාජන කෙරුණේත් පෙරේදා (4) සවසය. ඇපලෝ රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇගේ තත්ත්වය අවදානම් බවය. මේ වනවිට ඇය දිවි සුරැකුම් යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින බව ද වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති.
මේ අතර ‘අන්නා ද්‍රවිධ මුනේත්ර කසාගම්’ පක්ෂය සහතික වී ඇත්තේ ජයලලිතා ගැන කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත්, සැත්කමින් පසු ඇගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත්ය.
මහ ඇමැතිනී ජයලලිතාට හෘදයාබාධය වැළැඳුණු බව වාර්තාවීමත් සමඟ ඇයට ආදරේ තමිල්නාඩු වැසියෝ දහස් ගණනක් දෙනා යළිත් වරක් චෙන්නායි නුවර ඇපලෝ රෝහල ඉදිරිපිට රැස්කමින් ඇයට ඉක්මන් සුවය පතා යාච්ඤා කරන්න වූහ. ජයලලිතාගේ ප්‍රාන්ත රජයේ ඇමැතිවරුන් සියල්ලෝම පාහේ ඊයේ උදෑසන රෝහලට පැමිණි බව ද වාර්තා විය.