ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්



ජෝ බයිඩන් සහ පුතු හන්ටර් බයිඩන්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් මන්ත්‍රීවරු සූදානම් වෙති.

ලබන 2020 වසරේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. එය ජයග්‍රහණය කරමින් දෙවැනි සහ අවසන් ධුර කාලය ද සම්පූර්ණ කිරීම ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අරමුණ වෙයි. ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරියෙන් සිටින ජෝ බයිඩන්ය.

ට්‍රම්ප්ට පෙර බැරැක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, නියෝජ්‍ය ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන්ය. එම කාලයේ බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන්, යුක්රේන ස්වභාවික වායු සමාගමක අධ්‍යක්ෂක මණඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

මෙම සමාගම නීතිවිරෝධී කටයුතු රැසකට සම්බන්ධ බවටත් දූෂණ රැසකට සම්බන්ධ බවටත් චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් යුක්රේන රජය කළ විමර්ශනවලට ජෝ බයිඩන්ගෙන් බලපෑම් එල්ල වුණැයි පැවැසෙයි.

පසුගිය ජූලි 25 වැනිදා ජනපති ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති ධුරයට අලුතින් පත්වුණු ව්ලොදිමිර් ස්ලෙන්ස්කිට දුරකතන ඇමතුමක් දුන්නේය. ඒ, ජනපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් සුබ පතමිනි. සුබ පැතීමෙන් පසු ට්‍රම්ප්, ජෝ බයිඩන් සහ ඔහුගේ පුතා හන්ටර් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ද ජනාධිපති ව්ලොදිමිර් ස්ලෙන්ස්කිගෙන් ඉල්ලීමක් කළේය. ඒ, 2020 දී ජනපතිවරණයට ඉදිරිපත් වන බයිඩන්ට ‘මඩ ගැසීමේ’ ප්‍රධාන අරමුණින්ය.

ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපතිගේ මෙම දුරකතන කතාබහ ඇමෙරිකන් බුද්ධි අංශ නිලධාරියකු ප්‍රසිද්ධියට පත් කළ අතර, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි, ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැරැසෙන්නේ ඒ අනුවය.

ඇමෙරිකා පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රස් මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය ලෙස කොටස් දෙකකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය.

සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට නම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පමණක් නොව, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිය යුතු වෙයි. දෝෂාභියෝගයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවුවත්, සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම සැක සහිත යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකන් පුවත් සේවා ඇසුරිනි

RECOMMEND POSTS