ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරියට අකරතැබ්බක්
උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවෙද්දී, ඇමෙරිකන් මාධ්‍ය කණ්ඩායම මෙහෙයවූ ධවන මන්දිර මාධ්‍ය ලේකම්වරිය ස්ටෙෆනී ග්රිෂාම්ට අකරතැබ්බක් සිදුවිය.
උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේදී තමන් කිම් ජොන් උන් හමුවන්න කැමති යැයි ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් නිවේදනය කළේ පසුගිය 29 වැනිදාය. ට්‍රම්ප් දකුණු කොරියාවට පැමිණියේ ය.
ට්‍රම්ප්ගේ ඇරැයුම පිළිගනිමින් තමන් ට්‍රම්ප් හමුවීමට පැමිණෙන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා තිබුණේ අවසන් මොහොතේදීය.
ඒ අනුව, ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර හමුව, දකුණු කොරියාවේ වේලාවෙන් සවස 3.30 ට පමණ සිදුවිය. සියල්ල සිදුවූයේ පෙර සැලැසුමකින් තොරවය. එහෙයින්, ඇමෙරිකන් හෝ දකුණු කොරියා හෝ මාධ්‍යවේදීන්ට ස්ථානගත වීමට කල්වේලා නොලැබුණි.
ස්ටෙෆනී ග්‍රිෂාම් මාධ්‍යවේදීන් මෙහෙයවද්දී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් වට කරගෙන සිටි ඔහුගේ ආරක්ෂකයන් ඇයට ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ට කිට්ටු වීමට ඉඩක් දුන්නේ නැත. ඔවුන් ඇය තල්ලු කරද්දී ඇය විසිවී ගොස් ඇද වැටී සීරුම් තුවාල ලැබූ බව ද පැවැසෙයි.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට 42 හැවිරිදි ස්ටෙෆනී ග්‍රිෂාම් පත් කෙරුණේ පසුගිය සතියේය. මාධ්‍ය ලේකම්වරිය ලෙස රාජකාරී ආරම්භ කළේ ඉකුත් 28 වැනිදාත් 29 වැනිදාත් ජපානයේ ඔසාකා නුවර පැවැති ‘ජී20’ සමුළුවෙනි. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර පැවැති ඓතිහාසික හමුවට තමන්ට ද සහභාගී වීමට අවස්ථාව උදාවීමත්, වැටී තුවාල ලැබීමත් සැබැවින්ම අපූරු අත්දැකීමක් යැයි ස්ටෙෆනී මාධ්‍ය හමුවේ පවසා ඇත.
සෝල්හිදීය (රොයිටර්ස්)