ජයලලිතාට දැන් සුවයි
සතියකට ආසන්න කාලයක සිට රෝහලේ සිටින තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ඉන්දීය මාධ්‍ය ඊයේ (28) වාර්තා කළේය.
මහ ඇමැතිනිය සහ තමිල්නාඩු රජයේ ඇමැතිවරුන් අතරේ රෝහලේ දී විශේෂ හමුවක් ද පෙරේදා පැවැත් විණි. 68 හැවිරිදි ජයලලිතා ප්‍රතිකාර ලබමින් සිටින්නේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ය. ඇය රෝහල් ගත කෙරුණේ උණ වැළැඳී විජලනයට ලක් වීමෙනි.
ජයලලිතා රෝහල් ගත කළ බව මාධ්‍ය අනාවරණය කිරීමත් සමඟ දහස් ගණනින් ඇගේ පක්ෂ ආධාරකරුවන් සහ තමිල්නාඩු වැසියන් ඇපලෝ රෝහල ඉදිරියට රැස් වූයේ ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමිනි. එයින් රෝහලේ කටයුතුවලට බාධා එල්ල වූ බව ද වාර්තා විය. තමිල්නාඩු වැසියන් ජයලලිතා හඳුන්වන්නේ ‘අම්මා’ යන ආදර ගෞරව නාමයෙනි. ඔවුන් ඇයට දේවත්වයක් ද ආරූඪ කර ඇත.