ජපන් අගමැති ෂෙන්සෝ අබේ ඇමෙරිකාවේ පර්ල් නාවික වරායට



ටෝකියෝ/වොසින්ටනයේදීය (රොයිටර්)

ඇමෙරිකාවට අයත් හවායි දූපත්හි සංචාරයක යෙදෙන ජපාන අගමැති ෂෙන්සෝ අබේ ඇමෙරිකන් නාවික හමුදාවට අයත් පර්ල් වරායේ සංචාරය කළේය. 

1941 වසරේ දෙවැනි ලෝක යුද සමයේදී ඇමෙරිකාවේ පසමිතුරකුවී සිටි ජපානය, පර්ල් වරායට පහර දීමෙන් පසු, ජපාන අගමැතිවරයකු එහි සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

ජපාන අගමැතිවරයා පර්ල් වරායට ගියේ මෙම වසර අවසානයේදී ධුරයෙන් සමු ගැනීමට නියමිත ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා ද සමඟය. පර්ල් වරායේ ඇති යුද ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද අගමැති අබේ අමතක නොකළේය.

ජපාන අගමැතිවරයා පර්ල් වරායට පැමිණීම ඓතිහාසික සංචාරයක් බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ඇමෙරිකන් යුද නැව් ඉලක්ක කර ගනිමින්, ජපන් සොල්ලාදුවෝ පර්ල් වරායට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේ 1941 වසරේ දෙසැම්බර් හත්වැනිදාය.

ඇමෙරිකානුවන් පුදුමයට පත් කරමින් එල්ලවුණු එම ප්‍රහාරයෙන්  2,403 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මොවුන්ගෙන් 1,777 දෙනකු ඇමෙරිකන් නාවික හමුදා සෙබළුන්ය. තුවාල ලැබූ ගණන 1,100 කි.

පර්ල් වරායට එල්ලවුණු ප්‍රහාරයෙන් පසු, ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස 1945 වසරේදී, ඇමෙරිකාව ජපානයේ නාගසාකී සහ හිරෝෂීමා නගර ඉලක්ක කර ගනිමින් පරමාණු බෝම්බ හෙළීය. 

එය මිනිස් ඉතිහාසියේ සිදුවුණු බිහිසුණුම ඛේදවාචකය වූ අතර, බෝම්බ හෙළීමෙන් පසු ජපානය ඇමෙරිකාවට යටත් විය. ඒ සමඟම දෙවැනි ලෝක යුද්ධය ද අවසන් විය.

පසුගිය මැයි මාසයේ ඇමෙරිකා ජනාධිපතිප බැරැක් ඔබාමා ජපානයේ සංචාරයකට ගිය අවස්ථාවේදී, හිරෝෂීමා නගරයට ගොස් එහි ඇති යුද ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. ඇමෙරිකන් ජනාධිපතිවරයකු හිරෝෂීමා යුද ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ පළමු අවස්ථාව එය විය.

කෙසේ නමුත් ඇමෙරිකාව ජපානයට පරමාණු බෝම්බ හෙළීම සම්බන්ධයෙන් හෝ ජපානය ඇමෙරිකාවේ පර්ල් නාවික වරායට පහරදීම සම්බන්ධයෙන් හෝ සමාව ගැනීමක් මෙතෙක් සිදු කර නොමැති බව ද විදෙස් පුවත් සේවා සඳහන් කර ඇත.


RECOMMEND POSTS