ජනපති ධුර කාලය අවසන් කරන්න ඉඩ දෙන්න
ආපසු බොලිවියාවට පැමිණ තම අවසන් ජනපති ධුර කාලය අවසන් කිරීමට ඉඩ දෙන්නැයි විරෝධතා හේතුවෙන් සහ හමුදාවේ බලපෑම් මැද ධුරයෙන් සමුගෙන, දේශපාලන රැකවරණ පතා මෙක්සිකෝවට ගොස් සිටින බොලිවියා හිටපු ජනාධිපති ඊවෝ මොරාලේස් බොලිවියාවේ අන්තර්වාර ජනාධිපතිනියගෙන් ඉල්ලීමක් කර තිබේ.
මොරාලේස්, මෙම ඉල්ලීම කළේ මෙක්සිකෝ සිටී නුවර සිට අල් ජසීරා පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු, මොරාලේස් ජාත්‍යන්තර පුවත් නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණු පළමු අවස්ථාව මෙයයි.
‘බොලිවියාවෙන් පිටවී මට පුරුද්දක් නැහැ. මා ඉන්න ඕනෑ මගේ ජනතාව එක්ක. මා ජනතා නායකයෙක්. මට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදුවුණා. විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඒ පසුපස සිටිනවා. ඔවුන් හමුදාව ලවා මට බලපෑම් කළා. යළි බොලිවියාවට යන්න මම නීතියේ පිහිට පතනවා. පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළේ මම. මගේ ජයග්‍රහණය නීත්යාණුකූලයි’ යැයි මොරාලේස්, අල් ජසීරා පුවත් නාළිකාව සමඟ පැවැසීය.
ලතින් ඇමෙරිකා රටක වැඩිම කාලයක් ජනපති ධුරය හෙබවූ ජනපති වන්නේ මොරාලේස්ය. මොරාලේස් බොලිවියාවේ ස්වදේශික වැසියෙකි. මොරාලේස් බොලිවියාවේ ජනපති ධුරයට පත් වූයේ 2006 දීය. පසුගිය ඔක්තෝබරයේ බොලිවියාවේ ජනාධිපතිවරණය පැවැත්විණි. එයින් ජයග්‍රහණය කළේ ද මොරාලේස්ය. එම ජනපතිවරණයෙන් මොරාලේස් ජනපති ධුරයට පත් වූයේ අවසන් වරටය.
මොරාලේස්ට එරෙහි ජනතා නැගී සිටීමක් සිදුවූයේ මොරාලේස් දිගටම බලයේ රැඳී සිටිනවා යැයි චෝදනා නගමිනි. විරෝධතා සංවිධානය කළේ බොලිවියා විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය සහ හමුදාව යෙදවීමට මොරාලේස් කටයුතු කළ අවස්ථාවේදී හමුදාව ඊට එරෙහි වූයේ විරෝධතාකරුවන් සමඟ එක්වෙමිනි. එම අවස්ථාවේ හමුදාපතිවරයා මොරලේස්ට බල කළේ වහා ධුරයෙන් ඉවත් වන ලෙසටය.
ඒ අනුව, මොරාලේස් ජනපති ධුරයෙන් ඉවත් වුණු අතර, ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වුණු බැවින්, දේශපාලනික රැකවරණ දීමට මෙක්සිකෝව ඉදිරිපත් විය. ඒ අනුව, මෙක්සිකෝ ජනපතිවරයා විශේෂ ගුවන් යානයක් යවා මොරාලේස් ගෙන්වා ගැනීම සිදු කළේය.
ඊවෝ මොරාලේස් ජනපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ ජනපති ධුරය සඳහා එරට සෙනෙට් සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජැනීන් ඇනෙස් තෝරා ගැනීම සිදුවිය. ජැනීන් ඇනෙස් දක්ෂිණාංශික මතධාරිණියකි. දක්ෂිණාංශික පක්ෂවල සහාය ජැනීන් ඇනෙස්ට හිමිවිය. ජනපති ධුරයට ජැනීන් ඇනෙස් තෝරා ගැනීම සම්බන්ධයෙන් ධුරයෙන් ඉවත්වුණු ජනාධිපති මොරාලේස්ගේ වාමාංශික දේශපාලන පක්ෂ විරෝධය දක්වා ඇත. මොරාලේස්ගේ ආධාරකරුවන් සහ විපක්ෂ ක්‍රියාකාරීන් අතර මේ වනවිටත් දරුණු ගැටුම් පවතී. එම ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කනස්සල්ල පළ කර ඇත.
ලා පාස් හිදීය (ඒ.එෆ්.පී.)