ගෞතමාලා බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් 7 ක් මියයති
ලතින් ඇමෙරිකාවට අයත් ගෞතමාලාවේ ‘ගෞතමාලා සිටී’ අගනුවරට නුදුරින් පිහිටි බන්ධාගාරය තුළ සිදුවුණු වෙඩි තැබීමකින් රැඳෙවියෝ 7 ක් ජීවිතක්ෂයට පත්වූහ.
වෙඩි තැබීම සිදුවූයේ පැවොන් නමැති බන්ධනාගාරය තුළය. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගණන 20 කි. බන්ධනාගාරයේ ඉඩ ඇත්තේ රැඳෙවියන් දහසකට පමණි. කෙසේ නමුත් අද වනවිට 1,400 ක රැඳෙවියන් පිරිසක් බන්ධනාගාරයේ සිටින බව පැවැසෙයි. බන්ධනාගාරය ඉදිකරනු ලැබුවේ 1979 දීය.
වෙඩි තැබීම සිදුවුණු අවස්ථාවේදී බන්ධනාගාරය තුළ කලබලයක් හටගත්තේය. ඒ සමඟ රැඳෙවියන් මර්දනය කිරීමට හමුදාවේත් පොලිසියේන් 1,500 ක පිරිසක් බන්ධනාගාරයට පැමිණි බව වාර්තා විය. කලකාරී තත්ත්වය පාලනය කිරීමට පැය අටක් ගත වුණු බව ද පැවැසෙයි.
අපරාධ කල්ලි දෙකක රැඳෙවියන් දෙදෙනකු අතර බහින්බස් වීමක් සිදුවූ බවත්, එක් රැඳෙවියකු ඔහු විසින් සඟවා ගනු ලැබ තිබුණු ගිනි අවියකින්, අනෙක් රැඳෙවියාත් ඔහුගේ සගයන්ටත් වෙඩි තැබූ බව පොලිස් වාර්තා උපුටා දක්වමින් ගෞතමාලා පුවත් සේවා වාර්තා කර තිබේ.
ගෞතමාලා සිටී (ඒ.එෆ්.පී.)