කැනඩා අගමැතිට තර්ජන
කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි එරට පොලිස් ආරංචි මාර්ග පවසයි.
කැනඩා මහ මැතිවරණය ලබන 21 වැනිදා පැවැත්වෙයි. දෙවැනි ධුර කාලය වෙනුවෙන් අගමැති ටෘඩෝ ඊට ඉදිරිපත් වෙයි. යළි අගමැති දුරයට පත්වීමට ටෘඩෝට හැකිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පසුගිය සෙනසුරාදා (13) ඔන්ටෙරියෝ ප්‍රාන්තයේ මිසිසෝගා නුවර ජන රැලියකට අගමැති ටෘඩෝ එක් විය. ඔහු ජනතාව අතරට ගියේත් ජන රැලිය ඇමතුවේත් වෙඩි නොවඳින කබායක් පැළඳගෙනය.
එය බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. අගමැතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් වූ හේතුව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.
කෙසේ නමුත් අගමැති ටෘඩෝ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් කිසිදු තර්ජනයකට බියක් නොදක්වන බවත්, මින් ඉදිරියට ජන රැලිවලට එක් වන්නේ වෙඩි නොවඳින කබායක් නොමැතිව බවත්ය.
(රොයිටර්ස්)