උතුරු කොරියා නායකයා ආරක්ෂක සහතිකයක් ඉල්ලයි
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීමට නම්, නායක කිම් ජොන් උන් ජාත්‍යන්තර ආරක්ෂක සහතිකයක් අපේක්ෂා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.
උතුරු කොරියා නායකයා මෙසේ ජාත්‍යන්තර ආරක්ෂක සහතිකයක් අපේක්ෂා කරන්නේ, ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව යැයි ද රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටී. උතුරු කොරියා නායක කිම් ජොන් උන් ‘අවංකවම’ සාමය වෙනුවෙන් කැපවී සිටින බව තමන්ට පෙනී යන බව ද රුසියානු ජනාධිපතිවරයා පැහැදිලි කරයි.
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේත්, උතුරු කොරියාවේත් ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර සහතිකයක් දිය යුත්තේ, ලොව පලවත් රටවල් සියල්ල එක්වී, ජාත්‍යන්තර නීතිවලට අනුකූලව යැයි ද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
රුසියානු ජනාධිපති පුටින් මෙසේ කියා සිටියේ, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
රුසියානු ජනාධිපති පුටින් සහ කිම් ජොන් උන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. දෙදෙනා හමුවී සාකච්ඡා කළේ රුසියාවේ එක් කෙළවරක පිහිටි ව්ලැදිවොස්ටෝක් නුවර ට අයත් කුඩා දූපතක් වන රුස්ස්කයි හි ක්‍රීඩා ශාලාවේදීය. හමුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණි.
සාකච්ඡා පැවැත්වීමෙන් පසු, මාධ්‍යවේදීන් හමුවේ පුටින් කියා සිටියේ, උතුරු කොරියා නායකයා බොහොම විවෘතව න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීම සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවය.
සාම මාවතකට පිවිස සිටින කිම් ජොන් උන් න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළේ ඇමෙරිකාව සමඟය. කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනපති ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්වුණි. කෙසේ නමුත් දෙවැනි හමුව අසාර්ථක විය. ඒ, තමන් අපේක්ෂා කරන අයුරින්, න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදුනොවන බව පෙන්වා දෙමිනි. උතුරු කොරියාවට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත්තේ ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ඒ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.
ජනපති ට්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් අතර දෙවැනි හමුව පැවැත්වෙද්දී, කිම් ජොන් උන් සහ උතුරු කොරියානු නියෝජිතයන් ඇමෙරිකා ජනපතිවරයා සහ ඇමෙරිකන් නියෝජිතවරුන්ගෙන් ඉල්ලා සිටියේ තමන් න්‍යෂ්ටික අවිහරණය ආරම්භ කළ බැවින්, පනවා ඇති ආර්ථික සම්බාධකවලින් කොටසක් හෝ ඉවත් කරන ලෙසය. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, පසුගිය පෙබරවාරියේ වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වුණු දෙවැනි සාකච්ඡා අසාර්ථක විය.
ව්ලැදිවොස්ටෝක් නුවරට අයත් රුස්ස්කයි දූපතේ පැවැති සාකච්ඡාව අවසන් වෙද්දී, උතුරු කොරියාවේ සංචාරයකට පැමිණෙන්නැයි කිම් ජොන් උන්, රුසියානු නායක පුටින්ට ඇරැයුම් කළේය. උතුරු කොරියා මාධ්‍ය වාර්තා කළේ ජනපති පුටින් එම අරාධනය පිළිගත් බවත් නුදුරු අනාගතයේ දිනෙක තමන් උතුරු කොරියාවේ යොංග්යැංග් බලා යෑමට සූදානම් බවත්ය.
ව්ලැදිවොස්ටෝක්හිදීය (රොයිටර්ස්)