උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි
න්‍යෂ්ටික අවිහරණය සිදුකරන බවට ප්‍රතිඥා දී සිටින උතුරු කොරියාව යළිත් වරක් සාර්ථකව කෙටි දුර මිසයිල අත්හදා බැලීමක් කළේය.
මිසයිල අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ යැයි ද පැවැසෙයි. උතුරු කොරියාව පසුගිය සතියේ ද මේ අයුරින් කෙටි දුර මිසයිල අත්හදා බැලීමක් කළේය. එය ද සාර්ථක වූ බව උතුරු කොරියා මාධ්‍ය පසුව පැවැසීය.
ඊයේ දිනයේ මිසයිල අත්හදා බැලීම සිදු කළේ යොංගැන් පළාතේ කුසොන් නගරයේ පිහිටි මිසයිල අත්හදා බැලීමේ මධ්‍යස්ථානයේදීය. මිසයිල කිලෝ මීටර් 270 ක් සහ 420 ක් දුර විඳිනු ලැබූ බව ද පැවැසෙයි. මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය කනස්සල්ල පළ කර ඇත.
උතුරු කොරියාවේ ක්‍රියාකලාපය ගැව තමන් කිසිසේත් සතුටු නොවන බවත්, උතුරු කොරියාවට එරෙහිව තවත් සම්බාධක පනවා උතුරු කොරියාවට එරෙහිව දැඩි තීරණ ගැනීමට තමන් පසුබට නොවන බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
සාමයට කැප වී න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ දිගු දුර මිසයිල අත්හදා බැලීම් නවත්වන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රතිඥා දුන්නේ පසුගිය වසරේය. කෙටි දුර මිසයිල අත්හදා නොබලන බවට උතුරු කොරියාව පොරොන්දු වී නැත. ජාතික ආරක්ෂාව වෙනුවෙන් මිසයිල තිබිය යුතු බව උතුරු කොරියාවේ විශ්වාසයයි.
කෙසේ නමුත්, 2017 වසරේ නොවැම්බරයේ සිට මේ දක්වා උතුරු කොරියාව කෙටි දුර මිසයිල පවා අත්හදා බැලුවේ නැත. සාමයට කැපවුණු නිසාත්, න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් ලබා දුන් පොරොන්දුව නිසාත්, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ යහපත් සබඳතා ඇරැඹිණි.
දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ මැදිහත්වීමෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක නිම් ජොන් උන් අතරේ හමුවක් පැවැත්විණි. පළමු හමුව පසුගිය වසරේ සිංගප්පූරුවේදී පැවැත්වුණු අතර, එහි ප්‍රගතිය විමසීමේ දෙවැනි සමුළුව ඉකුත් පෙබරවාරියේ වියට්නාමයේ හැනොයි අගනුවරදී පැවැත්විණි.
ඇමෙරිකාව අපේක්ෂා කළ අයුරින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයක් සිදු නොවන බව වැටහී ගිය හෙයින්, ට්‍රම්ප් සහ කිම්ගේ දෙවැනි හමුව අසාර්ථක විය. එම හමුවේදී උතුරු කොරියාවේ ඉල්ලීම වූයේ ඇමෙරිකාව තම රටට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙසය. ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඊට විරෝධය දැක්වීය. ට්‍රම්ප් සහ කිම් හමුව අසාර්ථක වීමේ ප්‍රධාන හේතුව වූයේ එයයි.
ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සමඟ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු, නායක කිම් ජොන් උන් රුසියාවට ගොස් රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය. කිම් සහ පුටින් අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය විය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)