උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට ලියුමක්
(රොයිටර්/ඬේලිමේල්)
තම රටට එරෙහිව සිදුකරන කෙණෙහිලිකම් නවත්වන ලෙසත්, තම නායක කිම් ජොන් උන් බලයෙන් නෙරපා දැමීමට උත්සාහ නොකරන ලෙසත් ඉල්ලමින්, රටේ න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රගතිය ද සඳහන් කරමින්, උතුරු කොරියා රජය පසුගිය දා ඇමෙරිකාවට පිටු 9 කින් සමන්විත ලිපියක් යවා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ලිපිය යවා ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නොව, පොදුවේ උතුරු කොරියානු රජය නියෝජනය වන අයුරිනි. ලිපිය යවා ඇත්තේ ධුරයෙන් සමු ගැනීමට නියමිත ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමාට හෝ ජනපති ධුරයට පත්වීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප්ට හෝ නොව පොදුවේ ඇමෙරිකාවටය.
ඇමෙරිකා රජයේ නිවේදන උපුටා දක්වමින් එරට පුවත් සේවා පවසා ඇත්තේ, පිටු 9 කින් සමන්විත එම ලිපිය මගින් උතුරු කොරියාව ඇමෙරිකාවට තර්ජනයක් ද කර ඇති බවය.
උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා කර ඇත. උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා කිරීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ ඇමෙරිකාවයි. ඒ, උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.
උතුරු කොරියාව, කෙටි දුර සහ දිගු දුර මිසයිල පමණක් නොව, ජලකර බෝම්බයක් ද සාර්ථකව අත්හදාබලා ඇත. න්‍යෂ්ටික අත්හදා බැලීම් ද සිදුකරයි. මේ නිසා, ඇමෙරිකාව මැදිහත් වී, එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා උතුරු කොරියාවට ආර්ථික, වෙළෙඳ සහ රාජ්‍ය නාත්ත්රික මට්ටමින් සම්බාධක පනවා ඇත. ඒ අනුව, උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා විය.
ධුරයෙන් සමුගැනීමට නියමිත ඇමෙරිකන් ජනාධිපති ඔබාමා ද ඔහුගේ ධුර කාලයේ අවස්ථා කිහිපයකදී ද උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට පියවර ගත්තේය.
උතුරු කොරියාව එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ තමන් දිගින් දිගටම න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන්නේ ඇමෙරිකාව සම්බාධක පැනැවීම නිසා බවය. ඕනෑම මිසයිලයකට සවි කළ හැකි ආකාරයේ න්‍යෂ්ටික යුද ශීර්ෂ තමන් සතුව ඇති බව උතුරු කොරියාව පවසයි. ඊට අමතරව ඇමෙරිකාවට පහසුවෙන් විදිහ හැකි මිසයිල තමන් සතුව ඇති බව ද උතුරු කොරියාව කියා සිටී.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට එරෙහිව ජනතාව උසි ගැන්වීමට ඇමෙරිකන් බුද්ධි අංශ කටයුතු කර ඇති බවත්, එවැනි පහත් ක්‍රියා කිරීමෙන් පලක් නොමැති බවත් ලිපියෙහි සඳහන් වෙයි.
ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට නියමිතව සිටින ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ ගැටුම් ඇති කර නොගෙන සෑම රටන් සමඟ මිත්රශීලීව කටයුතු කරන බවය. තමන් උතුරු කොරියා නායකයා මුහුණට මුහුණ හමුවීමට කැමැති බව ද ට්‍රම්ප් පවසා ඇත. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද පවසා ඇත්තේ ට්‍රම්ප් හමුවීමට තමන්ගේ අකමැත්තක් නොමැති බවය.