ඉල්ලා අස්වීමට ගත් තීරණයේ වෙනසක් නෑ



මැතිවරණයෙන් ලැබූ ප්‍රබල පරාජයෙන් පසු, කොංග්‍රස් පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් ගත් තීරණය වෙනස් නොකරන බවත්, තමා වෙනුවට සුදුස්සකු තෝරා ගන්නා ලෙසත් රාහුල් ගාන්ධි (49) පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලයට දන්වා ඇත.

කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉකුත් සිකුරාදා (24) රැස්වී මැතිවරණ පරාජය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. කොංග්‍රස් පක්ෂය යනු නේරු ගාන්ධි පරපුරේ උරුමයයි.

මෙවර ලෝක්සභා මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 300 කට වැඩි ප්‍රමාණයක් දිනා ගනිද්දී, රාහුල් ගාන්ධි විසින් මෙහෙයවනු ලැබූ කොංග්‍රස් පක්ෂ සන්ධානයට ලබා ගැනීමට හැකිවූයේ ආසන 60 ක් පමණි.

රාහුල් ගාන්ධි ආසන දෙකක වෙනුවෙන් තරග වැදුණේය. රාහුල් නියෝජනය කළ අමෙති ආසනය වසර 15 ක් තිස්සේ කොංග්‍රස් පක්ෂයේ බලකොටුව විය. මෙවර මැතිවරණයේ දී රාහුල් අමෙති ආසනය පරාජයට පත් වූවාය. රාහුල් කේරළ ප්‍රාන්තයේ වේයනාද් ආසනය වෙනුවෙන් තරග කළ අතර එය ඔහු ජයග්‍රහණය කළේය.

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණු අවස්ථාවේදී රාහුල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලය එය ඒකමතිකව ප්‍රතික්ෂේප කළේය. ඔවුන් තරයේ කියා සිටියේ කොංග්‍රස් පක්ෂ සන්ධානය මෙහෙයවීම දිගටම රාහුල් ගාන්ධි විසින් කළ යුතු බවය.

ලැබූ පරාජයෙන් පසු තමන්ට තවදුරටත් පක්ෂ සභාපති ධුරය දැරිය නොහැකි බව රාහුල් ගාන්ධි කෘත්‍යාධිකාරී මණ්ඩලයට අවධාරණය කර ඇති අතර, ඔවුන් යළි රැස්වී පක්ෂ සභාපති ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට නියමිත බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS